කස්සප හිමිගේ සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගත් අයෙක් මත්ද්‍රව්‍ය භාවිත කරලා!

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අතරතුර පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ඔහු හෙරොයින් සහ ගංජා භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී මෙම කරුණු අනාවරණය වී ඇති බවට වාර්තා වුණා.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීමෙන් අනතුරුව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් පසුගිය නොවැම්බර් 07 වැනිදා උදෑසන රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

එහිදී විරෝධතාව සඳහා එක්ව සිටි පිරිස තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය මැදිහත් වී තිබුණා.

එම ස්ථානයේ තාවකාලික ඉදිකිරීම් සිදු නොකරන ලෙස පොලිසිය මීට පෙර දැනුම් දී තිබුණු බව පොලිසිය සඳහන් කළා.

පසුව සත්‍යග්‍රහයට සහාය පළ කළ සිවිල් පුද්ගලයකු සහ එම ස්ථානයට පැමිණි පිටස්තර පුද්ගලයකු අතර බහින්බස්වීමක් ඇති වී තිබෙන අතර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ තත්ත්වය උණුසුම් වී තිබුණා.

එම අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා පොලිස් ක්‍රියාමාර්ගයට මැදිහත් වීමත් සමඟ පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර පොරබැදීමක් දක්වා තත්ත්වය වර්ධනය වී තිබුණා.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය පැයකට ආසන්න කාලයක් පැවති බවත් එහිදී පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ ගැටුම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමකට සුළු තුවාල සිදු වූ බවට එම හිමිවරුන් චෝදනා කළා.

ඉන් අනතුරුව මෙම සිදුවීම්වලට සමගාමීව අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමක් අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ උදිත නිශාන්ත ඇතුළු පිරිසට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙස නියෝගයක් නිකුත් කළා.

එම නියෝගය අනුව රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වී තාවකාලික කූඩාරම් සහ ඉදිකිරීම් ඉවත් කළ යුතු බව සඳහන් කර තිබුණා.

එමෙන්ම පූජා භූමියේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්මාරකවලට කිසිදු හානියක් හෝ අලාභයක් සිදු නොකළ යුතු බවද අධිකරණ නියෝගයේ සඳහන් වුණා.

කෙසේ වෙතත් අධිකරණ නියෝගය නිකුත් කිරීමෙන් පසුවද සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිස එම ස්ථානයෙන් ඉවත් නොවී රැඳී සිටියා.

නොවැම්බර් 08 වැනිදා වනවිටත් සත්‍යග්‍රහය දෙවැනි දිනට ක්‍රියාත්මක වූ අතර අධිකරණ නියෝගය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් දැනුවත් කිරීමටද කටයුතු කර තිබුණා.

එදින රාත්‍රියේ අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් අද (09) දිනයේදී මෙම සත්‍යග්‍රහය තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වෙනවා.

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නා තෙක් තමන් වහන්සේ ඇතුළු පිරිස මෙම විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන යන බව කස්සප හිමියන් එහිදී ප්‍රකාශ කළා.

2026 පෙබරවාරි 27 වැනිදා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම හේතුවෙන් මෙම නොසන්සුන්තාවට මූලික හේතුව වී තිබෙනවා.

අදාළ සැලැස්ම මඟින් අනුරාධපුර පූජා භූමියේ වපසරිය වර්ග කිලෝමීටර් 28ක පමණ ප්‍රමාණයක සිට වර්ග කිලෝමීටර් 38ක් දක්වා පුළුල් කිරීමටත්ඒ සඳහා රුපියල් බිලියන 8.8ක් දක්වා ආයෝජනයක් යෙදවීමටත් යෝජනා කර තිබෙනවා.

එම සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා සහ ප්‍රශ්න මතුව ඇති අතර එමඟින් අනුරාධපුරයේ බෞද්ධ උරුමයට සහ පූජනීයත්වයට බලපෑම් ඇති විය හැකි බවයි ඇතැම් පිරිස් පෙන්වාදෙන්නේ.

කෙසේ වෙතත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා මෙම විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ අදාළ ගැසට් නිවේදනය වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

සංවර්ධන සැලැස්ම මඟින් නව හින්දු කෝවිල්, දේවාල හෝ මල් ආසන ඉදිකිරීමට යෝජනා කර නොමැති බවත් බැතිමතුන්ට ආගමික වතාවත් සිදුකිරීම සඳහා කිසිදු බාධාවක් හෝ සීමාවක් පැනවීමට සැලසුම් කර නොමැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඉදිකර ඇති ආරක්ෂිත වැට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ පුරාවිද්‍යාත්මක ස්ථානය ආරක්ෂා කිරීම සහ අයාලේ යන සතුන් ඇතුළුවීම වැළැක්වීම සඳහා එම වැට ඉදිකර ඇති බවයි.

එම වැට වෙනුවට පරිසරයට හිතකර ජෛව වැටක් ඉදිකිරීමටද සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

මේ අතර සැලැස්ම සකස් කිරීම සඳහා අටමස්ථානාධිපති හිමියන්, මහා සංඝරත්නය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු ආයතන සම්බන්ධ වී ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

සංවර්ධන කටයුතුවල ආරම්භක වියදම් මේ වනවිට රජයේ අරමුදල් මඟින් සිදුකරන බවත් ඉන්දියාවෙන් මේ දක්වා එම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර ලබාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේදී අයිස්ක්‍රීම් අලෙවිකරුවකු සහ විරෝධතාවට එක්ව සිටි පුද්ගලයකු අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන්ද පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළා.

එමෙන්ම විරෝධතාකරුවන් විසින් මහජන අත්සන් එකතු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබුණා.

Author

Leave a Reply

Related Posts