NVIDIA සමාගමේ ආදායම වාර්තාගත ලෙස ඉහළට

ජෙන්සන් හුවාංගේ හදිසි ඉවත්වීමෙන් පසුව මුහුණ දුන් අවිනිශ්චිතතාව මධ්‍යයේ වුවද, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ප්‍රමුඛතම සමාගමක් වන Nvidia සමාගම සිය කාර්තුමය ආදායම පළමු වරට ඇමරිකානු ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා වාර්තාගත මූල්‍ය ප්‍රගතියක් අත්කරගෙන තිබේ.

සමාගමේ කාර්තුමය ආදායම පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 115.8ක් දක්වා වර්ධනය වී ඇත. එම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පසු වෙළෙඳපොළ ගනුදෙනුවලදී Nvidia කොටස් මිල ද සියයට 4.8කින් ඉහළ ගොස් තිබේ.

ජෙන්සන් හුවාංගේ ඉවත්වීමෙන් පසු සමාගම නිකුත් කළ පළමු මූල්‍ය වාර්තාව මෙය වන අතර, සමාගමේ අනාගත නායකත්වය පිළිබඳව ආයෝජකයන් අතර පැවති සැකසංකා මධ්‍යයේ මෙම ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම විශේෂත්වයකි.

හුවාං සිය ධුරයෙන් ඉවත්වීමෙන් පසු, සමාගමේ අන්තර්කාලීන ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කොලෙට් ක්‍රෙස් කටයුතු කරයි.

සමාගමේ නවතම මූල්‍ය ප්‍රතිඵල ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය අවධාරණය කර ඇත්තේ නායකත්වයේ වෙනසක් සිදුවුවද සමාගමේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට එය බලපෑමක් සිදු කර නොමැති බවයි.

මේ අතර, ජෙන්සන් හුවාං යළිත් සමාගමේ නායකත්වයට පැමිණීමට කැමැත්ත පළ කර තිබීම ද විශේෂත්වයකි. අඟහරුවාදා දිනයේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ නැවත පැමිණ Nvidia සමාගම මෙහෙයවීමට ලැබුණහොත් එය ගෞරවයක් ලෙස සලකන බවයි.

එහෙත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති හාවි ජෝන්ස් එම අදහසට පැහැදිලි ප්‍රතිචාරයක් ලබාදී තිබේ.

“ඔහුව යළිත් එම ධුරයට පත් කිරීමේ අදහසක් අධ්‍යක්ෂ මණ්ඩලයට නැහැ” යනුවෙන් ඔහු මූල්‍ය විශ්ලේෂකයන් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

Nvidia සමාගමේ නවතම ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේදී අවධානයට ලක් වී ඇති තවත් කරුණක් වී ඇත්තේ චීනයේ දත්ත මධ්‍යස්ථාන සඳහා භාවිත කරන Hopper තාක්ෂණය පදනම් කරගත් අර්ධ සන්නායක සැපයීම නතර කර ඇති බවයි.

Hopper තාක්ෂණය Nvidia සමාගමේ උසස් H200 ප්‍රොසෙසරවල භාවිත වේ.

ජෙන්සන් හුවාං විසින් ඇමරිකානු දේශපාලන බලධාරීන් සමඟ අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කරමින් සිදුකළ බලපෑම්කාරී මැදිහත්වීම්වලින් පසුව, මෙම ප්‍රොසෙසර චීනයට අලෙවි කිරීම සඳහා සමාගමට අවසර හිමිව තිබිණි.

මේ අතර, Nvidia සමාගම සඳහා ස්ථිර ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.

සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති හාවි ජෝන්ස් පවසා ඇත්තේ මේ සඳහා විධායක නිලධාරීන් සොයාගැනීමේ විශේෂඥ ආයතනයක සහාය ලබාගෙන ඇති බවයි.

එමෙන්ම, සමාගම තුළ දැනට සේවය කරන ඉහළ නිලධාරීන් මෙන්ම බාහිර පුද්ගලයන් ද විභව අපේක්ෂකයන් ලෙස සලකා බලමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts