බන්ධනාගාර ආඥා පනත යටතේ පනවා ඇති රෙගුලාසි හා නිත්ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර සිදුකළ පැහැදිළි කිරීම අනුව යම් භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී සිරකරු ඇඳුම වන ජම්පරය වෙනුවට දිගටම සිවුර ඇඳීමට ඉඩ ලබාදෙනවාද යන සැකය මතුවී තිබේ.
ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් ඇමති හර්ෂණ නානායක්කාර පවසන්නේ බන්ධනාගාර නිත්ය නියෝග 356 සංශෝධනය කර ඊට 356(අ) යනුවෙන් අලුත් කොටසක් ඇතුළත් කර ඇති බවත්, ඒ අනුව යම් භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී එම සිරකරු එතෙක් ඇඳ සිටි ස්වකීය සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඒ අනුව ක්රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට දින 10ක් ලබාදී ඇති බවයි.
ඊට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝග 550 සංශෝධනය සම්බන්ධයෙන් ඔහු සඳහන් කරන්නේ බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙක් ලෙස බන්ධනාගාරයෙන් යම් කටයුත්තකට බැහැර කරන අවස්ථාවකදී චීවරය පැළැඳ සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙන බව හා එම භික්ෂුව අයත් නිකායෙන් හෝ පාර්ශවයෙන් එසේ නොකරන ලෙසට දැනුම් දීමක් ලැබෙන තුරු එම අයිතිය ලැබෙන බවයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර ඔහුට එරෙහිව ඇති වෙනත් නඩුවක් සඳහා චීවරය නොවන සිරකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ඇඳුමකින් රැගෙන ඒම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විරෝධය දැක්වීමෙන් පසු මහනායක හිමිවරුන්ගේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර ඔක්තෝබර් 08 දින පැවති සාකච්ඡාවෙන් පසු එම කමිටුව පත්කරනු ලැබීය. එහි අරමුණ වූයේ සිරදඬුවම් විඳින භික්ෂුවක් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී එම භික්ෂුව අයත් නිකාය හෝ පාර්ශවය තීන්දු කරන තෙක් චීවරය නොගැලවිය යුතු යන්න පිළිබඳ නියෝග සංශෝධනය කිරීමයි. එසේ නොවී බන්ධනාගාරය තුළදී චීවරය ඇඳිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් කිරීම නොවේ.
