එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාතික සීමා ඉක්මවා ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සම්මත කරගත් ජාත්‍යන්තර සම්මුතියක් ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන්, එම සම්මුතියේ විෂය පථය ඉක්මවා ගිය, සාමාන්‍ය අපරාධ සම්බන්ධයෙන් පවා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට, දීර්ඝ කාලයක් රඳවා තැබීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට හැකි වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සකස් කර ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නොවැම්බර් 04 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති විශේෂ නිර්ණය පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ. පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් විශේෂ නිර්ණය පෙත්සම් 26ක් ඉදිරිපත් විය.
ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමේ මූලික තර්කය වූයේ, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ අවශ්‍යතාව සහ එම නාමයෙන් රටේ සියලුම ආකාරයේ අපරාධ සඳහා විශේෂ පොලිස් හා විධායක බලතල හඳුන්වා දීම එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවය.
විශේෂයෙන්ම පනත් කෙටුම්පතේ 3, 6, 17, 20, 21, 34 සහ 65 වැනි වගන්තිවල විධිවිධාන හේතුවෙන් මෙරට අපරාධ නීතිය ක්‍රියාත්මක වන සාමාන්‍ය රාමුව සැලකිය යුතු ලෙස වෙනස් වන බව ඔහු පෙන්වා දුන්නේය.
එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාත්මක කිරීම ගැන විරෝධයක් නැහැ
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය කරුණු දැක්වීම ආරම්භ කළේ පනත් කෙටුම්පතේ පූර්විකාව සහ එහි ප්‍රකාශිත අරමුණු පිළිබඳ අවධානය යොමු කරමිනි.
2026 ඔක්තෝබර් 02 දිනැති ගැසට් පත්‍රයට අතිරේකයක් ලෙස, ඔක්තෝබර් 06 වැනිදා නිකුත් කළ පනත් කෙටුම්පතේ දීර්ඝ නාමයෙන් එහි අරමුණු කිහිපයක් දක්වා තිබේ.
එහි පළමු අරමුණ ලෙස සඳහන් වන්නේ,
ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද;
යන්නය.
ඊට අමතරව ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගිතාව මගින් බරපතළ අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් සමාජයට එල්ල වන තර්ජන වැළැක්වීම යන අරමුණු ද සඳහන් වේ.
පූර්විකාව අනුව, අදාළ එක්සත් ජාතීන්ගේ සම්මුතිය 2000 නොවැම්බර් 15 වැනිදා සම්මත කරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව එය 2006 සැප්තැම්බර් 22 වැනිදා අපරානුමත කර තිබේ.
මෙවැනි සම්මුතියක් ශ්‍රී ලංකාවේ නීතිය තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමන්ට විරෝධයක් නොමැති බව රොමේෂ් ද සිල්වා ප්‍රකාශ කළේය.
එහෙත් ඔහු අවධාරණය කළේ, මෙම පනත් කෙටුම්පත සම්මුතිය ක්‍රියාත්මක කිරීමකට පමණක් සීමා නොවී, සම්මුතියේ ප්‍රකාශිත අරමුණුවලට නොගැළපෙන පරිදි විෂය පථය පුළුල් කර ඇති බවය.
පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ පරමාර්ථ අතර සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහන් වුවද, එහි 2(ආ) වගන්තියෙහි සාමාන්‍යයෙන්ම බරපතළ අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා පහසුකම් සැලසීම වෙනම අරමුණක් ලෙස දක්වා ඇති බව මෙහිදී වැදගත් වේ.
ජනාධිපති නීතිඥවරයාගේ තර්කය වූයේ, ප්‍රකාශිත ජාත්‍යන්තර අරමුණ සහ පනතේ සැබෑ නීතිමය බලපෑම අතර ඇති මෙම වෙනස පනත් කෙටුම්පතේ මූලික දෝෂය බවය.
සම්මුතියේ සැබෑ අරමුණ කුමක්ද? එහි අර්ථ නිරූපණය පනතට ගැළපෙනවාද?
ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ ජාත්‍යන්තර සම්මුතිය වන්නේ 2000 වසරේ සම්මත කළ ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (United Nations Convention against Transnational Organized Crime — UNTOC) ය.
මෙය පලර්මෝ සම්මුතිය (Palermo Convention) ලෙස ද හඳුන්වනු ලැබේ.
සම්මුතියේ පළමු වැනි වගන්තියෙන් එහි අරමුණ නිශ්චිතව ප්‍රකාශ කර ඇත. එහි සිංහල අර්ථය මෙසේය.
ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධ වඩාත් ඵලදායී ලෙස වැළැක්වීම සහ ඒවාට එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම මෙම සම්මුතියේ අරමුණ වේ.
මේ අනුව, විවිධ රටවල් තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ ජාල, ඒවායේ සාමාජිකයන් සහ අපරාධ ක්‍රියාකාරකම්වලට එරෙහිව රටවල් අතර සහයෝගයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්මුතියේ ප්‍රධාන අරමුණ බව පැහැදිලිය.
සම්මුතියේ 2 වැනි වගන්තිය ඉතා වැදගත් වන්නේ, එහි භාවිත කරන ප්‍රධාන යෙදුම්වලට නිශ්චිත අර්ථ නිරූපණ ලබා දී ඇති බැවිනි.
සංවිධානාත්මක අපරාධයක් ලෙස සැලකීමට අදාළ ප්‍රධාන සාධක තුන
සම්මුතියේ 2(a), 2(b) සහ 3(1) වගන්ති එක්ව කියවීමේදී, සම්මුතියේ සාමාන්‍ය විෂය පථයට අයත් බරපතළ අපරාධ පිළිබඳව ප්‍රධාන සාධක තුනක් හඳුනාගත හැකිය.
1. බරපතළ අපරාධයක් වීම (Serious Crime): සම්මුතියේ 2(b) වගන්තිය අනුව, වසර හතරකට නොඅඩු උපරිම සිරදඬුවමක් හෝ ඊට වඩා බරපතළ දඬුවමක් නියම කළ හැකි වරදක් විය යුතුය. මෙහිදී සැලකෙන්නේ අධිකරණයෙන් ඇත්ත වශයෙන් පනවන දඬුවම නොව, අදාළ වරද සඳහා නීතියෙන් නියම කළ හැකි උපරිම දඬුවමයි.
2. සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සම්බන්ධතාව (Organized Criminal Group): සම්මුතියේ 2(a) වගන්තිය අනුව, කාලයක් තිස්සේ පවතින, පුද්ගලයන් තිදෙනකු හෝ වැඩි පිරිසකගෙන් සමන්විත, මූල්‍යමය හෝ වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් ලබාගැනීම සඳහා බරපතළ අපරාධ එකක් හෝ කිහිපයක් සිදු කිරීමේ අරමුණින් එකට ක්‍රියා කරන ව්‍යුහගත කණ්ඩායමක් පිළිබඳව සඳහන් වේ.
3. ජාතික සීමා ඉක්මවූ ස්වභාවයක් තිබීම (Transnational Nature): සම්මුතියේ 3(1) වගන්තිය අනුව, එහි සාමාන්‍ය විෂය පථය සලකා බැලීමේදී අදාළ වරද ජාතික සීමා ඉක්මවූ ස්වභාවයකින් යුක්ත විය යුතුය. එවැනි ස්වභාවයක් හඳුනාගන්නා ආකාරය 3(2) වගන්තියෙන් විස්තර කර තිබේ.
මෙහිදී සම්මුතියේ 2(c) වගන්තිය මගින් ව්‍යුහගත කණ්ඩායමක් යන්න ද පැහැදිලි කර ඇත. එය එක් වරදක් ක්ෂණිකව සිදු කිරීමට අහඹු ලෙස එක් වූ පිරිසක් නොවිය යුතු වුවද, නිශ්චිත නිලතල, අඛණ්ඩ සාමාජිකත්වයක් හෝ සංකීර්ණ සංවිධාන ව්‍යුහයක් තිබීම අනිවාර්ය නොවේ.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ කරුණු දැක්වීමේ වැදගත් අංගයක් වූයේ, මෙම සාධක සහ ශ්‍රී ලංකාවේ පනත් කෙටුම්පතේ විධිවිධාන අතර ඇති වෙනසයි.
ජාතික සීමා ඉක්මවූ අපරාධයක් යනු කුමක්ද?
සම්මුතියේ 3(2)(a) සිට 3(2)(d) දක්වා වගන්ති අනුව, අපරාධයකට ජාතික සීමා ඉක්මවූ ස්වභාවයක් තිබෙන බව සැලකීමට අවස්ථා හතරක් හඳුනාගෙන ඇත.
අපරාධය රටවල් එකකට වැඩි ගණනක සිදු කිරීම එහි පළමු අවස්ථාවයි.
දෙවනුව, අපරාධය එක් රටක සිදු වුවද එය සූදානම් කිරීම, සැලසුම් කිරීම, මෙහෙයවීම හෝ පාලනය කිරීමේ සැලකිය යුතු කොටසක් වෙනත් රටක සිදුව තිබීමයි.
තෙවනුව, අපරාධය එක් රටක සිදු වුවද රටවල් එකකට වැඩි ගණනක අපරාධ ක්‍රියාකාරකම්වල නිරත වන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් එයට සම්බන්ධ වීමයි.
සිව්වනුව, අපරාධය එක් රටක සිදු වුවද එහි සැලකිය යුතු බලපෑම් වෙනත් රටකට ඇතිවීමයි.
උදාහරණයක් වශයෙන්, එක් රටක සිට අපරාධයක් සැලසුම් කර තවත් රටක එය ක්‍රියාත්මක කිරීම, රටවල් කිහිපයක ක්‍රියාත්මක වන අපරාධ කණ්ඩායමක් හරහා මුදල් විශුද්ධිකරණය කිරීම හෝ එක් රටක සිදුකළ අපරාධයක බලපෑම වෙනත් රටක ඇතිවීම මෙවැනි තත්ත්වයන්ට අයත් වේ.
එවැනි අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රටවල් අතර තොරතුරු හුවමාරුව, සැකකරුවන් පිටුවහල් කර භාරදීම, සාක්ෂි රැස් කිරීම සහ අපරාධවලින් උපයාගත් දේපළ සොයාගැනීම සඳහා සහයෝගිතාව අවශ්‍යය.
ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර සම්මුතිය සකස් කිරීමේ පදනම වූයේ මෙවැනි ජාත්‍යන්තර අපරාධ ජාලවලට එරෙහිව කටයුතු කිරීමේ අවශ්‍යතාව බවයි.
එහෙත් ශ්‍රී ලංකාවේ යෝජිත පනත තුළ සාමාන්‍ය දේශීය අපරාධ රැසක් ද ඇතුළත් කර ඇති බව ඔහුගේ විවේචනය විය.
පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියෙන් බරපතළ අපරාධ යන්න පුළුල් කර තිබෙනවා
මෙම නීතිමය විවාදයේ ප්‍රධානතම කරුණක් වූයේ පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය ය.
මෙම වගන්තියෙන් පනත යටතේ බරපතළ අපරාධයක් ලෙස සැලකෙන වැරදි වර්ග තුනක් හඳුන්වා දී ඇත.
එහි සඳහන් නිශ්චිත වචන අනුව, පනතේම සඳහන් වැරදි, පළමු උපලේඛනයේ නිශ්චිතව සඳහන් වැරදි සහ වසර හතරක් හෝ ඊට වැඩි උපරිම සිරදඬුවමකින් දඬුවම් කළ හැකි වැරදි මෙයට ඇතුළත් වේ.
එහි වැදගත්ම කොටස මෙසේය.
මේ පනතේ හෝ මෙහි පළමු උපලේඛනයේ හෝ නිශ්චිතව දක්වා ඇති හෝ දෙයාකාරයෙන් එක් ආකාරයකට වසර හතරක් හෝ ඊට වැඩි කාලසීමාවක් වන උපරිම කාලසීමාවක් සඳහා වන බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් පමුණුවනු ලබන යම් වරදක්…
පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය, මුද්‍රිත පිටු 2–4.
මෙහි පළමු උපලේඛනය යන්නෙන් අදහස් වන්නේ පනතට අමුණා, ඒ යටතට ගැනෙන වෙනත් නීති හා වැරදි නිශ්චිතව ලැයිස්තුගත කර ඇති කොටසයි.
මෙය ඉංග්‍රීසියෙන් First Schedule ලෙස හඳුන්වයි.
රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේ මෙම ආකාර තුනෙන් බරපතළ අපරාධ අර්ථ දක්වා තිබීම හේතුවෙන්, පනතේ විෂය පථය සාමාන්‍ය ජනතාව සිතන ප්‍රමාණයට වඩා අතිශයින් පුළුල් වන බවය.
විශේෂයෙන්ම වසර හතරක හෝ ඊට වැඩි උපරිම සිරදඬුවමක් නියම කළ හැකි වැරදි ඕනෑම නීතියකින් හඳුනාගත හැකි බැවින්, පනත් කෙටුම්පතේ නමෙන් ප්‍රකාශ වන සංවිධානාත්මක අපරාධවලට අමතරව වෙනත් බොහෝ වැරදි මෙහි බරපතළ අපරාධ යන අර්ථ නිරූපණයට ඇතුළත් විය හැකිය.
මෙහිදී වැදගත් නීතිමය වෙනසක් තිබේ. සම්මුතියේ 2(b) වගන්තිය ද වසර හතරක උපරිම සිරදඬුවම යන නිර්ණායකයම භාවිත කරයි. එබැවින් වසර හතරක සීමාව පමණක් සම්මුතියට පටහැනි යැයි කිව නොහැකිය.
විවාදාත්මක වන්නේ, එම පුළුල් අර්ථ නිරූපණය සමඟ පනත් කෙටුම්පතේ විශේෂ අත්අඩංගුවට ගැනීමේ, රඳවා තැබීමේ සහ දඬුවම් කිරීමේ බලතල සම්බන්ධ කර ඇති ආකාරයයි.
ප්‍රකාශන අයිතිය, පේටන්ට් බලපත්‍ර සහ වෙළඳ ලකුණුත් බරපතළ අපරාධ?
පනත් කෙටුම්පතේ පළමු උපලේඛනය පරීක්ෂා කිරීමේදී ජනාධිපති නීතිඥවරයාගේ විවේචනයට හේතු වූ උදාහරණ ගණනාවක් හඳුනාගත හැකිය.
ඒ අතර 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත විශේෂ ස්ථානයක් ගනී.
පළමු උපලේඛනයේ අංක 33 සිට 41 දක්වා එම පනතේ වගන්ති නවයක් සඳහන් වේ.
ඒවා අතර 178 වැනි වගන්තියේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීම, 179 වැනි වගන්තියේ කාර්මික සැලසුම් උල්ලංඝනය කිරීම, 180 වැනි වගන්තියේ කාර්මික සැලසුම් පිළිබඳ අසත්‍ය කරුණු දැක්වීම, 181 වැනි වගන්තියේ පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කිරීම, 182 වැනි වගන්තියේ පේටන්ට් බලපත්‍ර සම්බන්ධ සාවද්‍ය නියෝජනය, 183 වැනි වගන්තියේ පේටන්ට් බලපත්‍ර පිළිබඳ තොරතුරු නීතිවිරෝධී ලෙස අනාවරණය කිරීම, 184 වැනි වගන්තියේ ලකුණු උල්ලංඝනය කිරීම, 185 වැනි වගන්තියේ වෙළඳ ලකුණු පිළිබඳ අසත්‍ය කරුණු දැක්වීම සහ 186 වැනි වගන්තියේ ලකුණු හා වෙළඳ විස්තර පිළිබඳ වෙනත් වැරදි ඇතුළත් වේ.
මෙහිදී ප්‍රකාශන අයිතිය යන්නෙන් අදහස් වන්නේ Copyright වන අතර, කාර්මික සැලසුම් යන්නෙන් Industrial Designs, පේටන්ට් බලපත්‍ර යන්නෙන් Patents සහ වෙළඳ ලකුණු යන්නෙන් Trademarks අදහස් වේ.
එසේම එම උපලේඛනයේ අංක 18 සහ 19 යටතේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 37 සහ 39 වගන්ති ද, අංක 22 සහ 23 යටතේ වන කැලෑ ආඥාපනතේ 20 සහ 25 වගන්ති ද ඇතුළත් කර ඇත.
මීට අමතරව පුරාවස්තු ආඥාපනත, පරිගණක අපරාධ පනත, රේගු ආඥාපනත, සුරාබදු ආඥාපනත, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත සහ 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත යටතේ ඇති තෝරාගත් වැරදි ද මෙහි සඳහන් වේ.
පළමු උපලේඛනයේ සමස්තයක් වශයෙන් අංක 53ක් යටතේ විවිධ නීතිවල වැරදි ලැයිස්තුගත කර තිබේ.
මෙය හුදෙක් ජාත්‍යන්තර මාෆියා සංවිධාන හෝ ප්රචණ්ඩ අපරාධ කණ්ඩායම් පාලනය කිරීමේ පනතක්ද, නැතහොත් දැනටමත් වෙනත් නීතිවලින් ආවරණය වන වැරදි විශාල සංඛ්‍යාවක් සඳහා අලුත් විශේෂ අපරාධ නීති ක්‍රමයක් හඳුන්වාදීමක්ද යන ප්රශ්නය රොමේෂ් ද සිල්වාගේ කරුණු දැක්වීමෙන් මතු විය.
සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයකු නොවුණත් මෙම නීතිය ක්‍රියාත්මක වෙනවාද?
මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී 3 වැනි වගන්තිය පමණක් නොව, 6 වැනි වගන්තිය ද වැදගත් වේ.
3 වැනි වගන්තියේ අවසාන කොටස අනුව, යම් බරපතළ අපරාධයක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු ලෙස සිදු කරන අවස්ථාවක පනතේ විධිවිධාන අදාළ කරගත යුතු බව සඳහන් වේ.
එහෙත් පනත් කෙටුම්පතේ 6(3) වගන්තිය සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු නොවන තැනැත්තකු සම්බන්ධයෙන් ද දඬුවම් නියම කරයි.
එහි 6(3)(අ) වගන්තිය අනුව, 6(1)(අ) යටතේ බරපතළ අපරාධයකට වරදකරු වන එවැනි තැනැත්තකුට අදාළ වරද සඳහා වෙනත් නීතියකින් නියම කර ඇති සිරදඬුවම් කාලය සියයට 50කින් වැඩි කළ හැකි ආකාරයේ දණ්ඩන විධිවිධාන පවතී. එයට අවුරුදු තුනක අවම සීමාවක් සහ අවුරුදු පහළොවක උපරිම සීමාවක් දක්වා ඇත. ජීවිතාන්ත සිරදඬුවම් සහ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් වෙනම විධිවිධාන පවතී.
එසේම 6(3)(ආ) යටතේ, අදාළ කණ්ඩායමේ සාමාජිකයකු නොවන පුද්ගලයකුට වසර දෙකේ සිට දහය දක්වා සිරදඬුවම් නියම කළ හැකි තවත් වරදක් සඳහන් වේ.
මෙහිදී 6(1) වගන්තිය සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක පොදු සාපරාධී අරමුණක් ඉෂ්ට කරගැනීම උදෙසා කටයුතු කිරීම පිළිබඳව වන බැවින්, 6(3) වගන්තියෙන් සාමාජිකත්වය නොමැති සෑම සාමාන්‍ය වැරදිකරුවකුම ස්වයංක්‍රීයව ආවරණය වන බවක් ද අදහස් නොවේ.
නමුත් සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයකු නොවන අයට ද පනතේ දණ්ඩන විධිවිධාන අදාළ වන බව පැහැදිලිවම පෙනේ.
ඒ අනුව 3 වැනි වගන්තියේ සාමාජිකත්වය පිළිබඳ සීමාව සහ 6(3) වගන්තියේ සාමාජිකයන් නොවන පුද්ගලයන් පිළිබඳ විධිවිධාන එකිනෙකට ගැළපෙන්නේ කෙසේද යන නීතිමය ප්රශ්නය මතු වේ.
ජනාධිපති නීතිඥවරයා තර්ක කළේ මෙවැනි විධිවිධාන හරහා, ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ සීමාවෙන් ඔබ්බට මෙම නීතිය ගෙනගොස් ඇති බවය.
17 වැනි වගන්තියෙන් පොලිසියට පුළුල් බලතල
මෙලෙස බරපතළ අපරාධ ලෙස අර්ථ දක්වා ඇති වැරදිවලට අදාළව පොලිසියට ලබාදී ඇති බලතල පිළිබඳව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කළේය.
පනත් කෙටුම්පතේ 17(1) වගන්තිය අනුව, පනත යටතේ බරපතළ අපරාධයක් සිදු කිරීම පිළිබඳ සාධාරණ සැකයක් පවතින අවස්ථාවක පොලිස් නිලධාරියකුට විශේෂ බලතල ගණනාවක් හිමි වේ.
17(1)(අ) වගන්තියෙන් සැකකරුවකු හෝ වාහනයක්, යාත්‍රාවක්, දුම්රියක්, ගුවන් යානයක් හෝ නියමුවකු රහිත ගුවන් වාහනයක් නැවැත්වීමට සහ සෝදිසි කිරීමට බලය ලබා දී තිබේ.
17(1)(ආ) වගන්තියෙන් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමට බලය ලබාදෙන අතර, 17(1)(ඇ) වගන්තියෙන් සෝදිසි වරෙන්තුවක් නොමැතිව පරිශ්රයකට හෝ ඉඩමකට ඇතුළු වී සෝදිසි කිරීමට අවස්ථාව සලසා ඇත.
17(1)(ඈ) වගන්තියෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බලය ලබා දේ.
17(1)(ඉ) වගන්තියෙන් අපරාධයක් සිදු කිරීමේදී භාවිත කළ බවට හෝ එයට සම්බන්ධ බවට සාධාරණව සැක කරන ලේඛන, ද්‍රව්‍ය හා භාණ්ඩ පොලිස් භාරයට ගැනීමට බලය ලබාදී තිබේ.
මෙහිදී ජනාධිපති නීතිඥවරයා මතු කළ ගැටලුව වූයේ, මෙවැනි විශේෂ බලතල භාවිත කළ හැකි වැරදිවල පරාසය අතිශයින් පුළුල් කර තිබීමයි.
පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තිය සහ පළමු උපලේඛනය මගින් බුද්ධිමය දේපළ ඇතුළු විවිධ නීතිවල වැරදි බරපතළ අපරාධ ලෙස හඳුනාගැනීමත්, 17 වැනි වගන්තියෙන් එම බරපතළ අපරාධ පිළිබඳව පොලිසියට විශේෂ බලතල ලබාදීමත් එකිනෙකට සම්බන්ධ කර බැලිය යුතු බව ඔහුගේ තර්කයෙන් පැහැදිලි විය.
අපරාධ මර්දනය සඳහා බලතල ලබාදීම සහ එම බලතල අවභාවිත කිරීම වැළැක්වීමට ප්‍රමාණවත් නීතිමය ආරක්ෂණ සැලසීම අතර සමබරතාව පිළිබඳ ප්රශ්නය මෙහිදී මතු වේ.
20 වැනි වගන්තිය: අත්අඩංගුවට ගත් සැකකරුවකු අනිවාර්යයෙන් රිමාන්ඩ් කළ යුතුද?
ජනාධිපති නීතිඥවරයාගේ තවත් ප්‍රධාන විවේචනයක් වූයේ පනත් කෙටුම්පතේ 20 වැනි වගන්තියයි.
මෙම වගන්තියෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීම සහ ඉන්පසුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විධිවිධාන සලසා ඇත.
20(1) වගන්තිය අනුව, පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පැය 72ක් නොඉක්මවන කාලසීමාවක් තුළ නොපමාව ආසන්නතම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
එම කාලසීමාව ගණනය කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට අධිකරණයට රැගෙන යාමට ගතවන කාලය බැහැර කිරීමේ විධිවිධාන ද අඩංගු වේ.
20(2) වගන්තිය අනුව, වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය බවට පොලිස් නිලධරයාට සාධාරණ හේතු ඇති අවස්ථාවක, මහේස්ත්රාත්වරයාට ලිඛිතව හේතු සටහන් කරමින් තවත් පැය 24කට නොවැඩි කාලයක් සැකකරු පොලිස් භාරයේ තැබීමට අවසර දිය හැකිය.
එහෙත් වඩාත් විවාදාත්මක විධිවිධානය ඇතුළත් වන්නේ 20(3) වගන්තියේය.
එහි 20(3)(අ) අනුව, 21 වැනි වගන්තිය ප්‍රකාරව පළමු වතාවට මාස දෙකක් සඳහා රඳවා තැබීමේ නියමයක් නිකුත් කර එය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ විට, එම නියමය බලාත්මක කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා ආඥාවක් කළ යුතුය.
20(3)(ආ) වගන්තිය මෙසේ සඳහන් කරයි.
රඳවා තැබීමේ නියමයක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර නොමැති විට දී, මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රිමාන්ඩ් භාරයේ තබනු ලැබිය යුතු ය.
මෙහිදී භාවිත කර ඇති තබනු ලැබිය යුතු ය යන අනිවාර්ය ස්වරූපයේ වචන කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
ජනාධිපති නීතිඥවරයාගේ තර්කය අනුව, මෙම විධිවිධානවලින් මහේස්ත්රාත්වරයාගේ අධිකරණමය අභිමතය සැලකිය යුතු ලෙස සීමා කරයි.
සාමාන්‍ය අපරාධ නඩු ක්‍රියාවලියේදී සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුද, ඇප මත මුදාහැරිය යුතුද යන්න සම්බන්ධයෙන් අදාළ නීතිවලට යටත්ව අධිකරණයට තීරණ ගැනීමට අවස්ථාව තිබේ.
එහෙත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඇති විකල්ප සීමා කර තිබේ.
එක් අතකින් විධායකය විසින් නිකුත් කරන රඳවා තැබීමේ නියමය බලාත්මක කිරීමටත්, අනෙක් අතට එවැනි නියමයක් නොමැති නම් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් විධිවිධාන සලසා ඇත.
20(4) වගන්තියෙන් මහේස්ත්රාත්වරයාට සැකකරු පෞද්ගලිකව හා රහසිගතව හමුවී ඔහුගේ යහපැවැත්ම විමසා බැලීමේ වගකීම පවරා ඇතත්, එය රිමාන්ඩ් කිරීම පිළිබඳ සීමා කළ අභිමතයට සමාන කරුණක් නොවේ.
මෙහිදී තවත් වැදගත් වගන්තියක් වන්නේ 19(4) ය. එමගින් පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවකු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් නොකර මුදාහැරීමට ඉඩ නොදේ.
ඒ අනුව, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුට නිදහස ලබාගැනීමේ සාමාන්‍ය මාර්ග සීමා වන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් පනත් කෙටුම්පතේ 22 සහ 23 වගන්ති මගින් මහාධිකරණයේ මැදිහත්වීම සහ ඇප සම්බන්ධයෙන් වෙනම විධිවිධාන පවතින බැවින්, පනත යටතේ කිසිදු අධිකරණයකින් ඇප ලබාගත නොහැකි බවක් මෙයින් අදහස් නොවේ.
රඳවා තැබීමේ නියෝග නිකුත් කරන්නේ විධායක බලධාරියෙක්
පනත් කෙටුම්පතේ 21 වැනි වගන්තිය යටතේ රඳවා තැබීමේ නියමයන් නිකුත් කිරීමේ බලය සලසා ඇත.
21(1) වගන්තිය අනුව පොලිස්පතිවරයාට හෝ ඔහු විසින් බලය පවරන ලද නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිලයට නොඅඩු නිලයක් දරන නිලධාරියකුට, සැකකරුවකු පොලිස් ස්ථානයක රඳවා තැබීම සඳහා නියමයක් නිකුත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ හැකිය.
21(2) වගන්තියෙන් අදාළ හේතු පිළිබඳ සෑහීමකට පත්වීමෙන් පසු ලේකම්වරයාට රඳවා තැබීමේ නියමයක් නිකුත් කිරීමට බලය ලබාදී තිබේ.
මෙහිදී නිශ්චිත කළ යුතු කරුණක් ඇත. මෙම පනත් කෙටුම්පතේ 35 වැනි වගන්තියේ අර්ථ නිරූපණය අනුව, ලේකම්වරයා යනු පොලිස් බලකාය විෂයය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාය.
එබැවින් මෙම බලය අනිවාර්යයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට හිමි වන බව නොව, පොලිසිය භාර විෂයය ඇති අමාත්‍යාංශයේ ලේකම්වරයාට හිමි වන බව පනතේ නිශ්චිත වචන අනුව සඳහන් කළ යුතුය.
21(3) වගන්තිය අනුව එක් රඳවා තැබීමේ නියමයක් වරකට මාස දෙකක් නොඉක්මවන කාලයක් සඳහා නිකුත් කළ හැකිය.
එවැනි නියමයන් යටතේ සමස්ත රඳවා තැබීමේ කාලසීමාව පළමු නියමයේ දිනයේ සිට වසරක් නොඉක්මවිය යුතුය.
21(4) වගන්තිය අනුව රඳවා තැබීමේ නියමයක් නිකුත් කළ හැක්කේ විමර්ශන කටයුතුවලට පහසුකම් සැලසීම, අදාළ සාක්ෂි හා ද්‍රව්‍ය ලබාගැනීම හෝ රඳවා සිටින සැකකරුගෙන් ප්‍රශ්න කිරීම වැනි අරමුණු සඳහාය.
එනම්, මෙය අධිකරණයකින් වරදකරු බවට තීරණය කිරීමෙන් පසුව පමුණුවන දඬුවමක් නොවේ. අපරාධයක් පිළිබඳ සැකයක් මත විමර්ශන අවධියේදී පුද්ගලයකුගේ නිදහස සීමා කිරීමේ ක්රමයකි.
බුද්ධිමය දේපළ පනත යටතේ වන වැරදිවල සිට වෙනත් විවිධ නීතිවල වැරදි දක්වා අදාළ කරගත හැකි නීතියක් තුළ, මෙවැනි දීර්ඝ රඳවා තැබීමේ බලතල හඳුන්වාදීම අවශ්‍යද යන්න ඔහු ප්‍රශ්න කළේය.
විශේෂයෙන් පේටන්ට් බලපත්‍රයක් හෝ වෙළඳ ලකුණක් උල්ලංඝනය කිරීම සම්බන්ධ සිද්ධියක් පවා පනතේ බරපතළ අපරාධ පිළිබඳ විධිවිධානවලට ඇතුළත් විය හැකි බව ඔහු උදාහරණ ලෙස ගෙනහැර දැක්වීය.
මෙයින් පේටන්ට් බලපත්‍රයක් උල්ලංඝනය කළ සෑම පුද්ගලයකුටම ස්වයංක්‍රීයව වසරක රඳවා තැබීමේ නියමයක් නිකුත් කළ හැකි බවක් අදහස් නොවේ. ඒ සඳහා පනතේ අදාළ වරද හා රඳවා තැබීමට අවශ්‍ය නීතිමය කොන්දේසි සපුරාලිය යුතුය.
එහෙත් මෙවැනි වැරදි සම්බන්ධයෙන් ද විශේෂ රඳවා තැබීමේ බලතල ක්‍රියාත්මක විය හැකි පරිදි පනත සකස් කිරීමේ සාධාරණත්වය ජනාධිපති නීතිඥවරයාගේ ප්‍රශ්න කිරීමේ අරමුණ විය.
මෙම තර්කය තවදුරටත් වැදගත් වන්නේ රඳවා තැබීමේ නියමය නිකුත් කිරීමේ මූලික තීරණය අධිකරණයකින් නොව විධායක බලධාරියකුගෙන් ආරම්භ වන බැවිනි.
කෙසේ වෙතත්, 22 වැනි වගන්තිය අනුව රඳවා තැබීම දීර්ඝ කිරීම මහාධිකරණය හමුවේ සමාලෝචනයට ලක් කළ යුතුය. එහිදී සැකකරුට හෝ නීතිඥවරයාට විරෝධතා ඉදිරිපත් කළ හැකි අතර, මහාධිකරණයට දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කිරීමේ බලය ද ඇත.
එසේම 23 වැනි වගන්තිය යටතේ මහාධිකරණයෙන් ඇප ලබාගැනීමේ විධිවිධාන පවතී. ඒ අනුව මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ කිසිදු අධිකරණ පාලනයක් නොමැති වීම නොව, මුල් අවධියේදී විධායකයේ රඳවා තැබීමේ තීරණය සහ මහේස්ත්රාත්වරයාගේ සීමා කළ අභිමතය අතර පවතින සම්බන්ධතාවයයි.
34 වැනි වගන්තිය: නඩු පැවරීමට ඇති කාලසීමාවන් ඉවත් කිරීම
ජනාධිපති නීතිඥවරයාගේ තවත් විවේචනයක් වූයේ පනත් කෙටුම්පතේ 34 වැනි වගන්තියයි.
එම වගන්තියේ මාතෘකාව වන්නේ කාලාවරෝධය ඉවත් කිරීම යන්නය.
එහි සඳහන් වන්නේ,
වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන් වුව ද මේ පනත යටතේ වන බරපතළ වරදක් සඳහා වන නඩු පැවරීමේ අයිතිය යම් කාලය දිගුවක් මගින් සීමා කරනු නොලැබිය යුතු ය.
යනුවෙනි.
මෙයින් අදහස් වන්නේ යම් වරදක් සම්බන්ධයෙන් නඩු පැවරීමට වෙනත් නීතියකින් කාලසීමාවක් නියම කර තිබුණ ද, එම වරද මෙම පනත යටතේ බරපතළ අපරාධයක් ලෙස ගැනෙන අවස්ථාවක, අදාළ කාලසීමාව නඩු පැවරීමට බාධාවක් නොවිය හැකි බවය.
රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේ මෙය ද තනිව නොව, පනතේ 3 වැනි වගන්තිය සහ පළමු උපලේඛනය සමඟ කියවා බැලිය යුතු බවයි.
එමගින් වෙනත් නීති යටතේ කාලසීමාවන්ට යටත් වන වැරදි සම්බන්ධයෙන් ද නව නීතිය යටතේ ඕනෑම කාලයක නඩු පැවරීමට අවකාශය ඇතිවිය හැකිය.
එය අපරාධ විමර්ශනයේදී ප්‍රායෝගික වැදගත්කමක් ඇති විධිවිධානයක් වුවද, කාලය ගතවීමෙන් සාක්ෂි හා ලේඛන අහිමිවීම, සාක්ෂිකරුවන්ගේ මතකය දුර්වල වීම සහ විත්තිකරුට සාධාරණව ආරක්ෂාව සකස් කරගැනීමේ අපහසුතා වැනි ගැටලු ද මතු කළ හැකි බව සැලකිය යුතුය.
ජනාධිපති නීතිඥවරයා මෙම විධිවිධානය ද හඳුනාගත්තේ, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ නාමයෙන් දේශීය අපරාධ නීති පද්ධතියේ පවත්නා සීමාවන් වෙනස් කිරීමේ උදාහරණයක් ලෙසය.
65 වැනි වගන්තිය: අපරාධයක් ගැන තොරතුරු නොදුන්නොත් වසර හතක සිරදඬුවමක්
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සිය කරුණු දැක්වීමේදී විශේෂ අවධානයක් යොමු කළ තවත් වගන්තියක් වූයේ 65 වැනි වගන්තිය ය.
මෙම වගන්තියේ මාතෘකාව වන්නේ තොරතුරු ලබා දීමට ඇති නීතිමය බැඳීම යන්නය.
65(1)(අ)(i) වගන්තිය අනුව, වෙනත් පුද්ගලයකු පනත යටතේ බරපතළ අපරාධයක් සිදු කිරීමට තැත් කරන, අනුබල දෙන, කුමන්ත්‍රණය කරන, සංවිධානය වන, පහසුකම් සලසන, උපදෙස් දෙන, ආධාර දෙන, දිරිදෙන, පොළඹවන හෝ සූදානම් වන බව දන්නා හෝ විශ්වාස කිරීමට හේතු ඇති පුද්ගලයකුට ඒ පිළිබඳ තොරතුරු දැනුම් දීමේ වගකීමක් ඇති කරයි.
65(1)(අ)(ii) වගන්තිය අනුව, යම් පුද්ගලයකු මේ පනත යටතේ බරපතළ අපරාධයක් සිදු කර ඇති බවට තොරතුරු දන්නා හෝ විශ්වාස කිරීමට හේතු ඇති අවස්ථාවක ද එම වගකීම අදාළ වේ.
එමෙන්ම 65(1)(ආ) වගන්තියෙන්, බරපතළ අපරාධයක් සිදු කර ඇති බව දන්නා පුද්ගලයකු සිටින ස්ථානය පිළිබඳ තමන් සතුව ඇති තොරතුරු පොලිසියට ලබාදීමට අපොහොසත් වීම හෝ නොමඟ යවන තොරතුරු ලබාදීම වරදක් බවට පත් කරයි.
එවැනි වරදකට මහාධිකරණයෙන් වරදකරු කරන පුද්ගලයකුට වසර හතක් නොඉක්මවන සිරදඬුවමක්, රුපියල් ලක්ෂ දෙකක් නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකිය.
එහෙත් මෙහි වඩාත් බරපතළ විධිවිධානය ඇත්තේ 65(2) වගන්තියේය.
එහි සඳහන් වන්නේ,
මේ ලිඛිත නීතියකින්, ගිවිසුමකින්, දිවුරුමකින්, හෝ අන්‍යාකාරයකින් පනවන ලද රහස්‍යභාවය පිළිබඳ යම් බැඳීමක් හෝ වෙනත් සීමා කිරීමක් නොසලකා යම් තැනැත්තකු (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු ය.
මෙම විධිවිධානයෙන් පනත් කෙටුම්පත යටතේ තොරතුරු ලබාදීමේ වගකීම, වෙනත් නීති හෝ ගිවිසුම් මගින් පනවා ඇති රහස්‍යභාවය පිළිබඳ බැඳීම්වලට වඩා ප්රමුඛත්වයට ගෙන ඇති බව පෙනේ.
එමගින් නීතිඥයන් ඇතුළු වෘත්තීය රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටින පුද්ගලයන්ට බරපතළ ගැටලු ඇතිවිය හැකි බව ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.
සේවාදායකයාගේ රහස් රකින නීතිඥයකුත් අපරාධකරුවකු වෙයිද?
ජනාධිපති නීතිඥවරයා මෙහිදී නීතිඥ වෘත්තියෙන් උදාහරණයක් ඉදිරිපත් කළේය.
යම් නීතිඥයකු වෙත බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සේවාදායකයකු පැමිණෙන්නේ යැයි සිතමු.
එම සේවාදායකයා තමන්ට එරෙහි චෝදනා සහ සිද්ධියේ තොරතුරු නීතිඥවරයාට රහසිගතව ලබාදිය හැකිය.
සාමාන්‍යයෙන් නීතිඥයකු තම සේවාදායකයාගෙන් නීති උපදෙස් ලබාදීමේ අරමුණින් ලබාගන්නා රහසිගත තොරතුරු ආරක්ෂා කිරීමේ වෘත්තීය හා නීතිමය බැඳීමකට යටත් වේ.
එහෙත් ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීමේ වරද ද මෙම පනත් කෙටුම්පතේ පළමු උපලේඛනයට ඇතුළත් කර තිබේ.
එසේ තිබියදී 65(1) වගන්තිය මගින් බරපතළ අපරාධ පිළිබඳ තොරතුරු දැනුම් දීමේ වගකීමක් පැනවීමත්, 65(2) වගන්තියෙන් රහස්‍යභාවය පිළිබඳ බැඳීම් නොසලකා කටයුතු කළ යුතු බව සඳහන් කිරීමත්, නීතිඥයාගේ සේවාදායකයා පිළිබඳ රහස්‍ය තොරතුරු ආරක්ෂා කිරීමේ වගකීම සමඟ ගැටිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම තර්කයේ නීතිමය පසුබිම තවදුරටත් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ සාක්ෂි ආඥාපනතේ 126 වැනි වගන්තිය පරීක්ෂා කිරීමේදීය.
එම වගන්තිය නීතිඥයකු සහ සේවාදායකයකු අතර වෘත්තීය කටයුතු සඳහා සිදුවන ඇතැම් රහසිගත සන්නිවේදන හෙළි කිරීම තහනම් කරයි.
එසේ වුවද, නීතිවිරෝධී අරමුණක් ඉදිරියට ගෙනයාම සඳහා කරන සන්නිවේදන සහ නීතිඥයා සේවයේ යෙදී සිටියදී සිදුවන ඇතැම් අපරාධ හෝ වංචා හෙළිවන කරුණු සම්බන්ධයෙන් එම ආරක්ෂාවට ව්‍යතිරේක තිබේ.
සාක්ෂි ආඥාපනතේ 129 වැනි වගන්තියෙන් ද නීති උපදේශකයන් සමඟ පවත්වා ඇති රහසිගත සන්නිවේදන ආරක්ෂා කිරීම පිළිබඳ විධිවිධාන සලසා ඇත. JUSTICE – justice.lk
එබැවින් සියලුම නීතිඥ–සේවාදායක සන්නිවේදන සම්පූර්ණයෙන්ම ආරක්ෂිත යැයි කිව නොහැකිය. එසේම පනත් කෙටුම්පතේ 65(2) වගන්තිය මගින් දැනට නීතියෙන් ආරක්ෂා කර ඇති සන්නිවේදන පිළිබඳ බැඳීම් කොතෙක් දුරට වෙනස් කළ හැකිද යන්න ද බරපතළ නීතිමය ප්රශ්නයකි.
රොමේෂ් ද සිල්වාගේ තර්කය වූයේ, නීතිඥයා තම සේවාදායකයාගේ රහස්‍යභාවය ආරක්ෂා කළහොත් ඒ හේතුවෙන්ම ඔහුට එරෙහිව අපරාධ චෝදනාවක් මතුවිය හැකි පරිදි නව නීතිය සකස් කර තිබීම පිළිගත නොහැකි බවයි.
නීතිඥයකුට සේවාදායකයාගෙන් නිදහසේ තොරතුරු ලබාගැනීමට නොහැකි වුවහොත්, එම සේවාදායකයාට ඵලදායී නීතිමය සහායක් ලබාදීම ද අපහසු වනු ඇත.
මෙය නීතිඥ වෘත්තියේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයකට පමණක් සීමා නොවේ. අපරාධ චෝදනා ලැබූ පුද්ගලයකුට සාධාරණ නඩු විභාගයක් ලබාගැනීමට ඇති අයිතිය හා නීතිමය නියෝජනය ලබාගැනීමේ හැකියාවට ද එය අදාළ වේ.
විනිසුරුවරයකු දන්නා තොරතුරක් පවා හෙළි කළ යුතු වෙයිද?
65 වැනි වගන්තියේ විධිවිධාන පිළිබඳව ජනාධිපති නීතිඥවරයා තවත් උදාහරණයක් ඉදිරිපත් කළේය.
අධිකරණයක් හමුවේ සිදුකරන නඩු කටයුත්තකදී විනිසුරුවරයකුට යම් අපරාධයක් පිළිබඳ තොරතුරු අනාවරණය වුවහොත්, එම විනිසුරුවරයාට ද මේ පනතේ තොරතුරු ලබාදීමේ වගකීම අදාළ විය හැකිද යන ප්රශ්නය ඔහු මතු කළේය.
65 වැනි වගන්තියේ තොරතුරු ලබාදීමේ වගකීමෙන් විනිසුරුවරුන් නිශ්චිතව බැහැර කර නොමැති වීම සහ රහස්‍යභාවය පිළිබඳ බැඳීම් නොසලකා කටයුතු කළ යුතු බව සඳහන් වීම එවැනි ප්‍රශ්නයක් මතුවීමට හේතුවේ.
කෙසේ වෙතත් විනිසුරුවරයකුට මෙම වගන්තිය ස්වයංක්‍රීයව අදාළ වන බව හෝ අධිකරණ කටයුතුවලදී දැනගත් සියලු තොරතුරු පොලිසියට ලබාදීම අනිවාර්ය වන බව හෝ මෙතෙක් නිශ්චිතව තහවුරු වූ නීතිමය නිගමනයක් නොවේ.
එය පනත් කෙටුම්පතේ පුළුල් වචන භාවිතයෙන් ඇතිවිය හැකි ගැටලුවක් ලෙස ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ උදාහරණයකි.
මෙවැනි විධිවිධානයක් අධිකරණයේ ස්වාධීනත්වය, වෘත්තීය රහස්‍යභාවය සහ සාධාරණ නඩු විභාගයක් සඳහා අවශ්‍ය ආරක්ෂණ සමඟ ගැළපෙන ආකාරය ද විමසා බැලිය යුතු වේ.
සම්මුතියේ අර්ථය සහ දේශීය නීතිය අතර තිබෙන වැදගත් නීතිමය වෙනස
රොමේෂ් ද සිල්වාගේ ප්‍රධාන තර්කය වූයේ, පනත් කෙටුම්පතේ විෂය පථය ජාත්‍යන්තර සම්මුතියේ සීමාවන් ඉක්මවා ගොස් ඇති බවය.
එහෙත් මෙම තර්කය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට එක්සත් ජාතීන්ගේ සම්මුතියේ තවත් වැදගත් වගන්තියක් පරීක්ෂා කළ යුතුය.
ඒ සම්මුතියේ 34 වැනි වගන්තිය ය.
සම්මුතියේ 34 වැනි වගන්තියෙන් එම සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විධිවිධාන සලසා ඇත.
එහි 34(1) අනුව, සම්මුතියේ වගකීම් ඉටු කිරීම සඳහා සෑම රාජ්‍යයක්ම තම දේශීය නීතියේ මූලික මූලධර්මවලට අනුකූලව ව්‍යවස්ථාදායක සහ පරිපාලනමය පියවර ගත යුතුය.
34(2) වගන්තියෙන් වැදගත් ව්‍යතිරේකයක් හඳුන්වා දී තිබේ.
එහි සිංහල අර්ථය අනුව, සම්මුතියේ 5, 6, 8 සහ 23 වගන්ති අනුව හඳුන්වාදිය යුතු අපරාධ දේශීය නීතියෙන් වරදවල් ලෙස ස්ථාපිත කිරීමේදී, 3(1) වගන්තියේ සඳහන් ජාතික සීමා ඉක්මවීමේ ස්වභාවය හෝ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සම්බන්ධතාව අනිවාර්ය කොන්දේසියක් කරගත යුතු නැත. එහෙත් 5 වැනි වගන්තිය අනුව සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සම්බන්ධතාව අවශ්‍ය වන අවස්ථා එයට ව්‍යතිරේක වේ.
මෙහි සඳහන් සම්මුතියේ වගන්ති හතරෙන් ආවරණය වන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට සහභාගි වීම, අපරාධවලින් උපයාගත් මුදල් විශුද්ධිකරණය කිරීම, දූෂණය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා කිරීම යන විෂයයන්ය.
සම්මුතියේ 34(3) වගන්තියෙන් ද ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සහ මර්දනය කිරීම සඳහා සම්මුතියේ දක්වා ඇති ක්‍රියාමාර්ගවලට වඩා දැඩි ක්‍රියාමාර්ග රාජ්‍යයකට හඳුන්වාදිය හැකි බව සඳහන් වේ.
සම්මුතියේ 34(1) වගන්තිය විසින්ම දේශීය නීතියේ මූලික මූලධර්මවලට අනුකූලව පියවර ගත යුතු බව සඳහන් කරයි. රොමේෂ් ද සිල්වා ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව පුද්ගල නිදහස පිළිබද මෙන්ම අධිකරණ ස්වාධීනත්වය පිළිබදවද ඉහළ ගෞරවයකින් සමන්විත රටක් බවයි. ඒවා සිහිපත් කරමින් ඒවා ආරක්ෂා කිරීමේ වැදගත්කම නඩු තීන්දු රැසක් උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාට නිවැරදි උපදෙස් ලබාදී නැහැ — රොමේෂ් ද සිල්වා
ජනාධිපති නීතිඥවරයා සිය කරුණු දැක්වීමේදී පනත් කෙටුම්පත සකස් කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය.
ඔහු ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතේ ඇති බරපතළ බලපෑම් සහ එයින් පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ජනාධිපතිවරයාට නිසි උපදෙස් ලබාදී නොමැති බවයි.
යම් පුද්ගලයකු හෝ පිරිසක් ජනාධිපතිවරයා නොමඟ යවා ඇති බවට ඔහු චෝදනා කළේය.
ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ අරමුණින් පනතක් හඳුන්වාදෙන බව ප්‍රකාශ කළද, එහි අන්තර්ගත විධිවිධානවලින් ඊට වඩා පුළුල් පරාසයක අපරාධ සඳහා විශේෂ බලතල ලබාදී ඇති බව ඔහු අවධාරණය කළේය.
