රජයේ මුද්‍රණයේ අයිතිය පෞද්ගලික අංශයට විවෘත කරයි

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ඊයේ (ඔක්තෝබර් 12) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමතිවරිය වශයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කර ඇත.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් පෙළපොත්, රජයේ නිල ප්‍රකාශන සහ රාජ්‍ය ආයතනවල ලේඛන මුද්‍රණය කරනු ලබන ප්‍රධාන රාජ්‍ය ආයතනය වශයෙන් කටයුතු කරනු ලබන බවත්, එම ආයතනය මෑත වසරවල අඛණ්ඩ ලාභ වාර්තා කර ඇතත්, එම ආයතන සතුව පවතින යන්ත්‍රෝපකරණ දිරාපත් වීම සහ මුද්‍රණ තාක්ෂණය යල් පැන ගොස් තිබීම හේතුවෙන් එහි නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ පිරිවැය තරඟකාරිත්වය අභියෝගාත්මක තත්වයක් උදාවී ඇති බව ඒ සම්බන්ධයෙන් වන කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන් වේ.

ඒ අනුව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථාවරත්වය දිගුකාලීනව පවත්වාගෙන යෑම සඳහා ව්‍යාපාර ආකෘතිය හා තාක්ෂණික හැකියාවන් ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී ඇති බවත්, එම කරුණු සැලකිල්ලට ගෙන එම ආයතනය උසස් ආරක්ෂක මුද්‍රණ ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා ‘Smart Print Initiative’ නමින් උපායමාර්ගික විවිධාංගීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාවය හඳුනා ගනු ලැබීම එම තීරණයට හේතුව බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading