ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසත්, ජාතික ජන බලවේග (NPP) රජය විසින් ඉදිරිපත් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) ඇතුළු සියලු මර්දනීය අනපනත් හකුළා ගන්නා ලෙසත් බල කරමින් අද (13) පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණි.
“PTA අහෝසි කරනු! PSTA ඉරා දමනු!” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම විරෝධතාව සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ. විරෝධතාව අතරතුර ඇදහැළුණු මහ වර්ෂාව නොතකා විරෝධතා කරුවන් අඛණ්ඩව උද්ඝෝෂණය සිදු කරන ලදී.
විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත අතර විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පොලිස් මාර්ග බාධක යොදවා, උද්ඝෝෂණය විසුරුවා හැරීමට සහ පාලනය කිරීමට පොලිසිය දිගින් දිගටම බාධා එල්ල කළේය.
මෙම විරෝධතාවයේ නියැළි පිරිස්වල ප්‍රධාන ඉල්ලීම වූයේ දශක ගණනාවක් පුරා අත්තනෝමතික ලෙස ජනතාව අත්අඩංගුවට ගැනීමට සහ රැඳවුම් භාරයේ තබා ගැනීමට යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) වහාම සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙසයි. එමෙන්ම, වත්මන් රජය විසින් ගෙන ඒමට සූදානම් වන PSTA පනත් කෙටුම්පත හරහා ද මහජන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දැඩි ලෙස මර්දනය වන බවට චෝදනා කරමින් එය වහාම ඉවත් කරගන්නා ලෙසත්, ජනතා විරෝධතා මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කිරීම සඳහා භාවිත කරන සියලුම මර්දනීය අනපනත් කඩිනමින් අහෝසි කරන ලෙසත් ඔවුහු මෙහිදී රජයට අවධාරණය කළහ.
උද්ඝෝෂණයට එක්වූ ක්‍රියාකාරීන් පෙන්වා දුන්නේ, මර්දනීය පනත් අහෝසි කරන බවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම වෙනුවට නව නමකින් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන පනත් කෙටුම්පත් සම්මත කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව සිය අරගලය නතර නොකරන බවයි.





