සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්තෝබර් 13) නියෝග කර තිබේ.
සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදිනට කැඳවීමට නියම කළ අධිකරණය, එතෙක් ඇප ලබාදීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව ද සඳහන් කර ඇත.
මෙම නඩුව අද උදෑසන කැඳවූ අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ ඇයව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර සිටින බවත්, ඇයට විවෘත හදවත් සැත්කමක් දැනටමත් සිදු කරමින් පවතින බවත්ය.
එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එවැනි සැත්කමක් සිදු කරමින් සිටිනවාද යන්න පිළිබඳව අධිකරණය නිශ්චිතව දැනුවත් කරන ලෙස නියම කරමින් සැකකාරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබාදීම සඳහා නඩුව පස්වරු 2ට යළි කැඳවීමට තීරණය කෙරුණු අතර එහිදී ඇයව මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝගය කර තිබේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද උදෑසන සිදුකර ඇත්තේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් පමණක් බවයි.
