ශිරන්ති රාජපක්ෂව ඔක්තෝබර් 12 වැනිදා බන්ධනාගාර රෝහලේ සිට ජාතික රෝහලට යවා තිබුණේ කොළඹ ජාතික රෝහලේ නවත්වා ප්රතිකාර කිරිමට නොවේ.
ඇගේ හෘදය රෝග මට්ටම පිළිබද පරීක්ෂා කොට මතයක් ලබා ගැනීම සදහා හෘදය රෝග ඒකකයට යවා තිබුණි. මෙසේ යවන්නේ රෝහල්ගත කිරීමට නොවේ. දැනට ඇයගේ රෝගී තත්වය පිළිබද පැහැදිලි මතයක් ලබා ගැනීම සදහාය.
යම්කිසි මොහොතක සිරකරුවෙකු හෝ රැදෙවියෙකු රෝහල්ගත කරන්නේ නම් එසේ කිරීමේදී 101 නම් වූ පෝරමයක් පිරවිය යුතුය. එහි එක් කොටසක් බන්ධනාගාරයේ ජේලර්වරයෙක්ට, බන්ධනාගාර අධිකාරීට සහ බන්ධනාගාර රෝහලට යොමු කළ යුතුය.
නියමිත ක්රියා පටිපාටිය එය වේ. ශිරන්ති රාජපක්ෂට එම ක්රියා පටිපාටිය අනුගමනය කළාද යන්න සැකයක් පවතී. පෙර කී ක්රමවේදය අනුව බන්ධනාගාරයෙන් පිටතට ගෙනගොස් විධිමත්ව ආරක්ෂාව සැපයීමට නෛතික හැකියාව තිබේ. වෙනත් රෝගීන් රෝහලක පරීක්ෂාවකට ගිය පසු රෝහල්ගත කරන ලෙස වෛද්ය උපදෙස් ලැබුණොත් නැවත බන්ධනාගාර රෝහලට ගෙනැවිත් අදාල පෝරම පිරවීමෙන් පසු රෝහල්ගත කිරීම සිදුකරයි.
එහෙත් හෘදය රෝග විශේෂඥ වෛද්ය භාතිය රණසිංහ විසින් ශිරන්ති රාජපක්ෂව ඇන්ජියෝග්රෑම් පරීක්ෂණය සිදු කිරීම සදහා රෝහල්ගත කරන ලෙස උපදෙස් ලබාදුන් පසු 101 පෝරමය පිරවීමට හෝ කටයුතු නොකර ඇයව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ. මෙය සාමාන්ය ක්රමවේදවලින් පිට සිදු වූ බව අපගේ ආරංචිමාර්ග පවසයි.
‘බන්ධනාගාර වෛද්යවරුන්ගේ නිර්දේශ මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ‘ බව මාධ්යවල පළ වූ ප්රචාරය සත්ය නොවන බව අපගේ ආරංචිමාර්ග පවසයි.
බන්ධනාගාරයේ සහ බන්ධනාගාර රෝහලේ නිලධාරීන් පවා ශිරන්තිව රෝහල්ගත කළ බව දැක ඇත්තේ මාධ්යවලිනි. බන්ධනාගාර රෝහලේ අපගේ ආරංචිමාර්ග පවසන්නේ කිසිසේත්ම ශිරන්ති රාජපක්ෂව රෝහල්ගත කිරීම සදහා ජාතික රෝහලට යොමු නොකළ බවත්, ඇගේ හෘදය රෝග තත්වය පිළිබද මතය විමසීමට බන්ධනාගාරගත කළ බවත්ය.
අපගේ ආරංචිමාර්ගවලට අනුව බන්ධනාගාර රෝහලේ නිලධාරීන් බන්ධනාගාර මාධ්ය ප්රකාශක විසින් ශිරන්ති රාජපක්ෂව රෝහල්ගත කිරීම පිළිබද සාවද්ය කරුණු සමාජගත කිරීම පිළිබද විරෝධය පළ කර තිබේ.
