නාකොළගණේ අභයභූමියක් වෙයි!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාකොලගනේ වනාන්තර ප්‍රදේශයේ හෙක්ටයාර 682ක භූමි භාගයක් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මෙම භූමිය කාලාන්තරයක් තිස්සේ ඝන වනාන්තරයක්ව පැවති අක්කර 1,500කට ආසන්න ප්‍රදේශයක්.

කෙසේ වෙතත් පසුගිය කාලසීමාවේදී පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් ආර්ථික භෝග වගාවන්, මහා පරිමාණ ඛනිජ කැණීම් සහ පස් කැපීම වැනි විනාශකාරී ක්‍රියාකාරකම් සඳහා මෙම රක්ෂිත වනාන්තර ඉඩම් අනවසරයෙන් යොදාගෙන තිබුණා.

මෙම වන සංහාරය හේතුවෙන් වයඹ පළාතේ අලිමිනිස් ගැටුම පෙර නොවූ විරූ ලෙස උග්‍ර වූ අතර අලි ඇතුන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග සහ ආහාර බිම් අහිමි වීම නිසා ගම්වැසියන්ගේ ජීවිත මෙන්ම දේපළද දැඩි තර්ජනයකට ලක් වුණා.

මෙම පාරිසරික විනාශය සහ අලිමිනිස් ගැටුම පාලනය කිරීමට බලධාරීන් පියවර නොගැනීමට එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් නියෝග කළේ, සමාගම් විසින් එළිපෙහෙළි කරන ලද හෙක්ටයාර 55ක ඉඩම් ප්‍රමාණය ද ඇතුළුව අවශේෂ කැලෑ කොටස් සහිත සමස්ත ප්‍රදේශයම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තිය ප්‍රකාරව අභයභූමියක් හෝ අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස වහාම ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

අධිකරණ නියෝගය අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ ඒකාබද්ධ ක්ෂේත්‍ර සමීක්ෂණයකින් පසු අභයභූමියට ඇතුළත් කළ යුතු භූමි ප්‍රමාණය හෙක්ටයාර 682ක් ලෙස නිශ්චිතව හඳුනා ගනු ලැබුවා.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද එකඟතාව මත ඒ ආසන්නයේ පිහිටි ඓතිහාසික පාලුකඩවල වැවේ උපරිම ජල මට්ටම් සීමාව ද ඇතුළත් කරමින් මෙම හෙක්ටයාර 682ක භූමිය වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නාකොලගනේ අභයභූමිය නමින් කඩිනමින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading