සරසවියම චත්‍රගේ ‘ආයු’ ට… හොඳම චිත්‍රපටය මාලකගේ බහුචිතවාදියා, ජනප්‍රියම මෝඩ තරිඳුටත් සම්මානයක්

හොඳම නිළිය ආයු චිත්‍රපටයේ විශිෂ්ට රංගනය නිරත වූ සැන්ද්‍රා මැක්ස්

හොඳම නළුවා සම්මානය ප්‍රියන්ත සිරිකුමාරට

37 වන ප්‍රයිම් සරසවිය සිනමා සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවැත්විණි. සරසවිය සිනමා සම්මාන රාත්‍රිය තමන් සතු කරගත් චත්‍ර වීරමන්ගේ ‘ආයු’ සිනමාපටය, සම්මාන දහයකින් අභිෂේක ලබමින් හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ගායිකාව, හොඳම ගායකයා සහ හොඳම ගීත රචනය යන ප්‍රධානතම සම්මාන 10 ක් දිනාගත් අතර ‘ආයු’ චිත්‍රපටය ජීවිතයේ හදිසි සිදුවීම් සහ ඉන් ජීවිතයේ සැබෑ යථාර්තයට අපව රැගෙන යාම පිළිබඳව අසදෘශ නිර්මාණයක් බව සපථ කළේය.

ඒ අනුව 37 වන ප්‍රයිම් සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සම්මානය ආයු අධ්‍යක්ෂණය කළ චත්‍ර වීරමන්ට හිමි විය. එසේම සරසවිය සම්මාන හොඳම චිත්‍රපට නිළිය සම්මානය ආයු චිත්‍රපටයේ විශිෂ්ට රංගනය නිරත වූ සැන්ද්‍රා මැක්ස් හට හිමි විය.

සරසවිය සිනමා සම්මාන උලෙළේදී ‘ආයු’ සිනමා පටය ස්වර්ණමය මතක සටහනක් තබමින් එහි ආත්මය බඳු සංගීත සංයෝජනය උදෙසා හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් මිලින්ද තෙන්නකෝන් පිදුම් ලැබූ අතර, ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ “අකුණු සැරයක” ගීතය සිය සුරම්‍ය ස්වරයෙන් අමරණීය කළ තුසිත් සිම්සන් හොඳම ගායකයා ලෙස සම්මානනීය විය. එමෙන්ම, චත්‍ර වීරමන්ගේ ‘ආයු’ චිත්‍රපටයේ එන “රැළි රැළි හැපෙනා” ගීතයට සංවේදී ලෙස ජීවය දුන් චතුරිකා නිර්මාණි, සිය මියුරු ස්වර මාධුර්ය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

එසේම වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ මෝඩ තරිඳු චිත්‍රපටයට හිමි විය.හොඳම චිත්‍රපටය, හොඳම තිරපිටපත සහ නැගී එන නළුවා යන සම්මාන ත්‍රිත්වය මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටයට හිමි විය.

සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ප්‍රියන්ත සිරිකුමාර හට හිමි විය. හොඳම සහය නළුවා ලෙස තුසිත ලක්නාත් නෙළුම් කුළුණ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හිමි කර ගන්නා ලදී.

හොඳම වේශ නිරුපණයට හිමි සම්මානය දේවි කුසුමාසන චිත්‍රපටයේ වේශ නිරුපණය වෙනුවෙන් ඉන්දික උදාරටද, හොඳම රංග වස්ත්‍රාභරණ නිර්මාණයට හිමි සම්මානය දේවි කුසුමාසන චිත්‍රපටයේ වස්ත්‍රාභරණ නිර්මාණය වෙනුවෙන් වාසනා හේවාදුවත්තට හිමි විය.

හොඳම ප්‍රතිවීර රංගනය වෙනුවෙන් පිරිනමන සම්මානය වාලම්පුරි චිත්‍රපටයේ පොලිස් නිළධාරියාගේ චරිතය රඟ පෑ වසන්ත මොරගොඩට හිමි විය. හොඳම නැගී එන නළුවා සම්මානය මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටයේ රඟ පෑ කලණ ගුණසේකරට හිමි විය.  

37වන ප්‍රයිම් සරසවිය සිනමා සම්මාන උලෙළ 2026 හොඳම වර්ණ ශ්‍රේණිගත කිරීම සඳහා වන සම්මානය දේවි කුසුමාසන චිත්‍රපටයේ වර්ණ සංයෝජනය වෙනුවෙන් දිලාන් ගුණවර්ධනට හිමි විය. එසේම හොදම ක්‍රියාදාම අධ්‍යක්ෂණය වෙනුවෙන් පිරිනමන සම්මානය දෙවි කුසුමාසන චිත්‍රපටයේ වෙනුවෙන් වසන්ත කුමාරවිලට හිමි විය.

හොදම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග වලට හිමි සම්මානය බුද්ධික විජේරත්න සහ චමින්ද විතානගේට හිමි විය. හොඳම නර්තන අධ්‍යක්ෂණය සම්මානය මෝඩ තරිඳු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් කවිඳු මධුශාන්ට හිමි විය. හොඳම ශබ්ධ පරිපාලනයට හිමි සරසවිය සම්මානය දේවි කුසුමාසන චිත්‍රපටයේ ශබ්ධ පරිපාලනය වෙනුවෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චිට හිමි විය.

37 වන ප්‍රයිම් සරසවිය සිනමා සම්මාන උලෙළේ හොඳම ගී පද රචනය වෙනුවෙන් සම්මානය දිනා ගැනීමට චත්‍ර වීරමන්ගේ ආයු චිත්‍රපටය වෙනුවෙන් ”රැළි රැළි හැපෙනා” ගීතය රචනය කළ චින්තන ධර්මදාසට හිමි විය.

සම්මාන උලෙළේ හොඳම නවක නිළිය වෙනුවෙන් සම්මානය දිනා ගැනීමට ‘දේවී කුසුමාසන’ චිත්‍රපටයේ පද්මාගේ චරිතය නිරූපණය කළ දුමී වන්නිආරච්චිට හිමි විය.

සරසවිය සිනමා සම්මාන උලෙළේ හොඳම සහය අධ්‍යක්ෂණයට හිමි සම්මානය දශක 6කට ආසන්න කාලයක් චිත්‍රපට රැසකට දායකත්වය ලබා දුන් ලාංකේය සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ, 1968 වසරේදී බයිසිකල් හොරා චිත්‍රපටයෙන් සහය අධ්‍යක්ෂණයට පිවිසි නමුත් කිසිදා අධ්‍යක්ෂණයට නොපිවිසි ජ්‍යෙෂ්ට සිනමා සහය අධ්‍යක්ෂ එස්.ඒ.අලගේෂන් හට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන සහාය අධ්‍යක්ෂකට හිමි සම්මානය හිමි විය.

37 වන ප්‍රයිම් සරසවිය සිනමා සම්මාන උලෙළේදී සිනමා ක්ෂේත්‍රයට දැක්වූ දීර්ඝකාලීන සහ විශිෂ්ට සේවය අගයමින් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන හතරක් පිරිනැමුණු අතර, එහිදී ප්‍රවීණ සිනමාවේදී හේමසිරි සෙල්ලප්පෙරුම, ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු, ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්න සහ ප්‍රවීණ සංගීතඥ එම්. එම්. ඒ. හක් යන මහත්ම මහත්මීන් එම විශිෂ්ට අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබූහ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading