ඔර්නබ් සුළි කුණාටුව ප්‍රබල වෙයි – දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං

බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශයේ පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්ව ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවත ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද පස්වරු 5.30 දක්වා බටහිරට බරව වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති මෙම පද්ධතිය ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින් හෙට (ඔක්තෝබර් 28) පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට පුරෝකථනය කර තිබේ.

මෙම සුළි කුණාටු පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකෙරුණද, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය අද දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වීමේ හැකියාව පවතී.

නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවට අනතුරු අඟවා තිබේ.

මේ අතර උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 140ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශවල තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading