ශ්රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් කෝටි දහයක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 24ක් යටතේ කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට අද (27) දැනුම් දුන්නා.
එම අධිචෝදනා විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර ඇති බවත් අදාළ අධිචෝදනා පත්රය මඟින් සාක්ෂිකරුවන් 59 දෙනෙකු නම් කර ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම්දුන්නා.
නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර පවත්වාගෙන යනු ලබන මෙම නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව අධිකරණය හමුවේ කියා සිටියා.
නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අල්ලස් කොමිසම විසින් මේ සම්බන්ධ ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව බරපතළ මූල්ය හා ආර්ථික අපරාධ විභාග කිරීම පිණිස සම්මත කර ඇති අධිකරණ සංවිධාන පනත යටතේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්රය කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර නඩුව විභාග කිරීමට අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මඬුල්ලක් පත්කර තිබෙනවා.
මෙම නඩු කටයුත්තේදී සහ නාමල් රාජපක්ෂ මහතාට එරෙහි ‘ක්රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩුවේදී ඉදිරිපත් කෙරුණු මෝසම් පත්රයක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ජනාධිපති නීතිඥ ශවීන්ද්ර ප්රනාන්දු යන මහත්වරුන් පෙනී සියා.
විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවීන්ද්ර ප්රනාන්දු මහතා පෙන්වා දුන්නේ, ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ වන විටත් දීර්ඝ නඩු විභාගයක් දිනපතාම විභාග වෙමින් පවතින බැවින් නාමල් රාජපක්ෂ මහතාගේ මෙම නඩුව විභාගයට ගැනීමට හෝ සලකා බැලීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවයි.
අනතුරුව ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13 වැනි ව්යවස්ථාව උපුටා දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, සැකකරුවෙකුගේ පුද්ගල නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළා.
එයාර්බස් ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ මේ වන විට අවසන්ව ඇති පසුබිමක තම සේවාදායකයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම කිසිසේත්ම යුක්තිසහගත නොවන බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.
මහාධිකරණයෙන් සිතාසියක් හෝ නොතීසියක් ලැබෙන ඕනෑම මොහොතක අධිකරණයේ පෙනී සිටීමට තම සේවාදායකයා සූදානම් බැවින් අධිකරණයට සුදුසු යැයි හැඟෙන ඕනෑම කොන්දේසියක් යටතේ නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා, මෙම නඩුව පසුව කැඳවීමට නියෝග කළ අතර ක්රිෂ් නඩුවේ මෝසම සම්බන්ධයෙන්ද ඉදිරියේදී කරුණු දැක්වීමට නියමිත බව නීතිඥවරු දන්වා සිටියා.
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවෙන් රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාව මත 2026 සැප්තැම්බර් 4 වන දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි නාමල් රාජපක්ෂ මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනුනා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදීම ඇප ඉල්ලීම් ප්රතික්ෂේප වෙමින් ඔහුගේ රක්ෂිත බන්ධනාගාර කාලය දීර්ඝ කෙරුණා.
2013 වසරේ සිදුවූ මෙම ගනුදෙනුවේදී අල්ලස් වශයෙන් ගෙවූ බව කියන යුරෝ 1,454,651.24ක මුදලක් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ BIZ Solutions Inc. නමැති සමාගම් ගිණුමට බැරවී තිබුණා.
එම සමාගම ශ්රීලංකන් එවකට ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ බිරිඳ වන ප්රියංකා නියෝමාලි විජේනායක මහත්මියගේ නමින් ලියාපදිංචි වූවක්.
ඉන් අනතුරුව එම ගිණුමෙන් ඇමෙරිකානු ඩොලර් 800,000ක මුදලක් සිංගප්පූරුවේ OCBC බැංකුවේ Sabre Vision Holdings Ltd. ගිණුමට මාරු කර තිබූ අතර ඊට සම්බන්ධ ප්රධාන ව්යාපාරිකයා නිමල් පෙරේරා මහතා බව හෙළි වුණා.
2014 සහ 2015 වසරවලදී එම මුදලින් රුපියල් මිලියන 100ක් අවස්ථා කිහිපයකදී නාමල් රාජපක්ෂ මහතාට භාරදුන් බවට ඕස්ට්රේලියාවේ වෙසෙන නිමල් පෙරේරා මහතා ලබාදුන් දිවුරුම් ප්රකාශයක් මඟින් අනාවරණය කර තිබුණද නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය එම චෝදනා දැඩි ලෙස ප්රතික්ෂේප කළා.
මීට අමතරව 2013 මාර්තු 23 දින එයාර්බස් සමාගමේ විද්යුත් තැපැල් පණිවුඩයක දැක්වෙන්නේ, එවකට ජනාධිපතිවරයාගේ පුත්රයා නාමල් රාජපක්ෂ මෙම ගුවන් යානා මිලදී ගැනීමේ යෝජනාව ජනාධිපතිවරයා හරහා අමාත්ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එකඟ වූ බවයි.
ප්රංශයේ එයාර්බස් සමාගමේ නිලධාරීන්ගෙන් මෙන්ම සිංගප්පූරුව, ඕස්ට්රේලියාව, ඇමෙරිකාව සහ ප්රංශය යන රටවලින් ලබාගත් තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම එක්ව මෙම පරීක්ෂණ මෙහෙයවනු ලැබුවා.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 13 වන දින නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් පරිදි විමර්ශන අවසන් කර නඩුව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග කිරීමේ ක්රියාවලිය අද වන විට සිදුව තිබෙනවා.
