මාතර බ්රවුන්ස් හිල් ප්රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණය අද (27) විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ ගොනුකරන ලද කරුණු දැක්වීමේ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මාතර ප්රධාන මහේස්ත්රාත් චතුර දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
මාතර, එළියකන්ද පාරේ බ්රවුන්ස් හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක වටිනා ඉඩමක් මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙම නඩුව පවරා තිබෙනවා.
මෙම නඩු කටයුත්ත පසුගිය මැයි මස 22 වන දින මාතර මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මුල් වරට සාමාන්ය වරෙන්තුවක් නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබුණා.
එලෙස නිකුත් කළ වරෙන්තුව ක්රියාත්මක නොවූ පසුබිමක විමර්ශන නිලධාරීන්ගේ වාර්තාව මත පදනම්ව අද දින මෙලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට මාතර මහේස්ත්රාත් අධිකරණය පියවර ගනු ලැබුවා.
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මල්වාන ප්රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් සහ ඉඩමක් මෙන්ම මාතර බ්රවුන්ස් හිල් ප්රදේශයේ අක්කර එකහමාරක මුහුදු වෙරළාශ්රිත ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මීට පෙර දීර්ඝ විමර්ශන ආරම්භ කර තිබුණා.
මල්වාන ඉඩම් නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා මීට පෙර නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය පියවර ගෙන තිබුණද මාතර ඉඩම් ගනුදෙනුවට අදාළ නඩුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ අඛණ්ඩව විභාග වෙමින් පැවතුණා.
වරින් වර ප්රතිකාර සහ පෞද්ගලික සංචාර සඳහා ඔහු විදේශගතව සිටි අතර නඩු දිනයන්හිදී අධිකරණයට පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කිරීමට සිදුව තිබෙනවා.
