ටුපාක් ෂකුර් ඝාතනය: අවුරුදු 30කට පස්සේ ඇරඹුණු නඩු විභාගය

ජනප්‍රිය රැප් ගායක ටුපාක් ෂකුර්ගේ අවාසනාවන්ත මරණය සිද්ධ වෙලා දැන් අවුරුදු 30කට කිට්ටුයි.

මේ තරම් කාලයක් ලෝකෙම කතා වුණු, හිප්-හොප් කලාවේ ලොකුම අභිරහසක් වුණු මේ ඝාතනය ගැන අලුත්ම කතාවක් දැන් කරළියට ඇවිත් තියෙනවා. ඒ තමයි මේ සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා ලබපු එකම පුද්ගලයාගේ නඩු විභාගය පහුගියදා නිල වශයෙන් ආරම්භ වීම.

ටුපාක් ෂකුර් කියන්නේ කවුද?

ටුපාක් ඉපදෙන්නේ 1971 අවුරුද්දේ නිව්යෝර්ක්වල ඊස්ට් හාර්ලම් (East Harlem) ප්‍රදේශයේ. එයාගේ දෙමාපියන් ‘බ්ලැක් පැන්තර්’ (Black Panther) කියන සංවිධානයේ ක්‍රියාකාරීන්. ඒ සංවිධානය කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු සංවිධානයක්.

මේ දේශපාලන පසුබිම ටුපාක්ගේ සංගීතයටත් ගොඩක් දුරට බලපෑවා. වයස අවුරුදු 17දී ඇමරිකාවේ බටහිර වෙරළ තීරයට ගියපු එයා ‘ඩිජිටල් අන්ඩර්ග්‍රවුන්ඩ්’ කණ්ඩායමත් එක්ක සංගීත ගමන පටන් අරන් පස්සේ ලොස් ඇන්ජලීස්වල තනියම ගමනක් යන්න පටන් ගත්තා. 1991දී එයාගේ පළවෙනි ඇල්බම් එක වුණු 2Pacalypse Now එළියට ආවා. ඊටපස්සේ ආපු ඇල්බම් වගේම Keep Ya Head Up, Changes, California Love, Dear Mama වගේ සින්දු ලෝකෙම ජනප්‍රිය වුණා. සමාජ අසාධාරණය, පොලිස් ම්ලේච්ඡත්වය වගේ දේවල් තමයි එයාගේ සින්දුවලින් නිතරම කතා කළේ.

සංගීතයට අමතරව එයා Juice, Poetic Justice වගේ චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. කොහොම වුණත් ‘ද නොටෝරියස් බී.අයි.ජී’ (The Notorious BIG) කියන රැප් ගායකයා එක්ක තිබුණු ගැටුමත් මේ කාලයේ ලොකු කතාබහක් වුණා. වයස අවුරුදු 25දී මැරුණත්, ටුපාක් කියන්නේ අදටත් මිලියන 75කට වඩා රෙකෝඩ්ස් විකුණපු, සංගීත ලෝකයේ නොමැකෙන නමක්.

ඝාතනය වුණු දවසේ රෑ වුණේ මොකක්ද?

1996 සැප්තැම්බර් 7 වෙනිදා ටුපාක්, ‘ඩෙත් රෝ රෙකෝඩ්ස්’ (Death Row Records) ආයතනයේ සම නිර්මාතෘ මේරියන් “ෂුග්” නයිට් (Suge Knight) එක්ක ලාස් වේගාස්වල එම්.ජී.එම් ග්‍රෑන්ඩ් (MGM Grand) හෝටලයට ගියා මයික් ටයිසන්ගේ බොක්සිං මැච් එකක් බලන්න. මැච් එක ඉවර වෙලා එද්දී ටුපාක් සහ නයිට් දෙන්නා, ඕලන්ඩෝ “බේබි ලේන්” ඇන්ඩර්සන් කියන කෙනා එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගත්තා. මේ ඇන්ඩර්සන් කියන්නේ ‘සවුත් සයිඩ් කොම්ප්ටන් ක්‍රිප්ස්’ කියන කල්ලියේ සාමාජිකයෙක් වගේම මේ නඩුවේ ප්‍රධාන සැකකරු වෙන ඩුවේන් “කීෆ් ඩී” ඩේවිස්ගේ (Duane “Keffe D” Davis) බෑණා.

එදා රෑ ටුපාක් සහ නයිට් BMW කාර් එකක ලාස් වේගාස් ස්ට්‍රිප් එකේ යද්දී, සුදු පාට කැඩිලැක් (Cadillac) කාර් එකක් ඒගොල්ලන්ගේ කාර් එක ළඟටම ඇවිත් පිටිපස්සේ සීට් එකේ ඉඳන් වෙඩි තියන්න පටන් ගත්තා. .40-කැලිබර් ග්ලොක් 22 වර්ගයේ තුවක්කුවකින් තමයි මේ වෙඩි තැබීම කරලා තිබුණේ. වෙඩි උණ්ඩ හතරක් වැදුණු ටුපාක්ව රෝහල්ගත කළත්, දවස් හයකට පස්සේ, ඒ කියන්නේ 1996 සැප්තැම්බර් 13 වෙනිදා එයා ජීවිතයෙන් සමුගත්තා.

කවුද මේ ඩුවේන් “කීෆ් ඩී” ඩේවිස්?

අවුරුදු 63ක් වෙන ඩුවේන් ඩේවිස් කියන්නේ කලින් කිව්ව කල්ලියේ හිටපු නායකයෙක්. ටුපාක්ගේ මරණය සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දෙන එකම මනුස්සයා එයා තමයි. ඇත්තටම එදා අර සුදු පාට කාර් එකේ ඩේවිසුත් ඉඳලා තියෙනවා. හැබැයි එයා නෙවෙයි වෙඩි තියලා තියෙන්නේ. නෙවාඩා ප්‍රාන්තයේ නීතියට අනුව, වෙඩි තිබ්බේ නැති වුණත් මිනීමැරුමක් සැලසුම් කරන්න උදව් වුණා නම් එයාටත් චෝදනා ගොනු කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඩේවිස්ට මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.

මේ මනුස්සයා අවුරුදු ගාණක් නිදහසේ හිටියත්, 2019දී එයාම ලියපු ‘කොම්ප්ටන් ස්ට්‍රීට් ලෙජන්ඩ්’ (Compton Street Legend) කියන පොත සහ එයා දීපු ඉන්ටර්විව් නිසා තමයි ආයෙමත් පොලිසියේ දැලට අහු වෙන්නේ. ඒ පොතේ එයා පැහැදිලිවම ලියලා තියෙනවා තමන්ගේ බෑණාට ගහපු එකට පලිගන්න තමයි මේ ප්ලෑන් එක ගැහුවේ කියලා. තුවක්කුව හොයාගෙන ඇන්ඩර්සන්ට දුන්නෙත් එයාමලු. “වචන හුවමාරු වුණේ නෑ, කතා කරන කාලය ඉවර වෙලයි තිබුණේ… මගේ බෑණාට ගහපු එකෙන් අපිට ඒගොල්ලන්ට පාඩමක් උගන්වන්න ලොකු පාරක් හැදුණා” කියලා ඔහු ඒ පොතේ ලියලා තියෙනවා. පොලිසිය කියන විදිහට, මේ මනුස්සයා මේ පොත නොලිව්වා නම් කවදාවත් නීතියේ රැහැනට කොටු වෙන්නේ නැහැ.

නඩු විභාගයේ අලුත්ම තත්ත්වය සහ සාක්ෂි

පහුගිය සඳුදා ලාස් වේගාස් අධිකරණයේදී මේ නඩු විභාගය නිල වශයෙන් පටන් ගත්තා. පිරිමි 6 දෙනෙක් සහ කාන්තාවන් 10 දෙනෙක්ගෙන් සමන්විත ජූරියක් තමයි මාසයක් පුරා ඇහෙන මේ නඩුවට පත් කරලා තියෙන්නේ. ටුපාක්ගේ පවුලේ අය, විශේෂයෙන්ම එයාගේ සහෝදරයා වෙන මොප්‍රීම් ෂකුරුත් මේ නඩුව අහන්න උසාවියට ඇවිත් හිටියා.

නඩුව මෙහෙයවන නීතිඥ බිනු පලාල් (Binu Palal) උසාවියේදී අර මයික් ටයිසන්ගේ මැච් එක දවසේ ටුපාක්ගේ කට්ටිය ඩේවිස්ගේ බෑණාට ගහන වීඩියෝ එකක් ජූරියට පෙන්නුවා. ඔහු පැහැදිලි කළේ ඩේවිස් වෙඩි නොතිබ්බත්, මුළු ඝාතනයම සැලසුම් කළේ එයා කියන එකයි. හැබැයි ඩේවිස්ගේ නීතිඥයා වෙන මයිකල් සෑන්ෆ්ට් (Michael Sanft) කියන්නේ, අවුරුදු 30ක් ගිහිල්ලත් පොලිසියට හරිහමන් සාක්ෂියක් හොයාගන්න බැරි වුණා කියලයි. ඒ වගේම ඩේවිස් අර පොතේ ලියලා තියෙන දේවල් සල්ලි සහ ප්‍රසිද්ධිය වෙනුවෙන් ගොතපු බොරු කියලත් ඔහු තර්ක කරනවා.

නඩුවේ පළවෙනි සාක්ෂිකරුවා විදිහට ආවේ ගැරී ඩේල් කියන හිටපු ලාස් වේගාස් පොලිස් නිලධාරියා. එදා රෑ ටුපාක්ගේ කාර් එකේ නොම්බර් ප්ලේට් එකක් නැති නිසා මුලින්ම ඒ කාර් එක නැවැත්තුවේ එයා. වෙඩි තැබීමෙන් පස්සේ ටුපාක් එක්ක ගිලන් රථයේ ගියෙත් ඔහුමයි. ඒ වෙලාවේ වෙඩි තිබ්බේ කවුද කියලා ටුපාක්ගෙන් ඇහුවම, “නෑ, අපි ඒක බලාගන්නම්” කියලා ටුපාක් කිව්වා කියලා ඔහු සාක්ෂි දුන්නා.

ඊටපස්සේ ඉන්ග්‍රිඩ් ස්ටෝක්ස් කියන කාන්තාව සාක්ෂි දුන්නා. ඇය එදා වෙඩි තියන වෙලාවේ ඒ කිට්ටුවම වෙන කාර් එකක හිටපු කෙනෙක්. ඇය කිව්වේ වෙඩි සද්දේ ඇහුණාට පස්සේ ලොකු කලබලයක් වුණා කියලයි. හැබැයි පොලිසිය එයාලව සැකකාරියන් විදිහට සැලකුවා කියලත්, පොලිසියට තොරතුරු දුන්නොත් කල්ලියකින් කරදර වෙයි කියන බයට නිහඬව හිටියා කියලත් ඇය කිව්වා.

හිටපු රහස් පරීක්ෂක බ්‍රෙන්ට් බෙකර් සහ ලොස් ඇන්ජලීස් පොලිසියේ හිටපු රහස් පරීක්ෂක ෆ්‍රෙඩ් මිලර් කියන අයත් උසාවියට ඇවිත් සාක්ෂි දුන්නා. බෙකර් කිව්වේ එදා සිද්ධියෙන් පස්සේ සූජ් නයිට්ව ප්‍රශ්න කරද්දී ඔහු කිසිම දෙයක් දන්නේ නෑ වගේ හැසිරුණා කියලයි. ඒ වගේම සූජ් නයිට් මේ නඩුවට සහයෝගය දෙන්න කැමති නැහැ කියලා මෑතකදී දීපු ඉන්ටර්විව් එකකදීත් කියලා තිබුණා. ෆ්‍රෙඩ් මිලර් කියන්නේ මීට කලින් ‘නොටෝරියස් බී.අයි.ජී’ ගේ මරණය ගැනත් ඩේවිස්ගෙන් ප්‍රශ්න කරපු කෙනෙක්. හැබැයි ඒ මරණයට ඩේවිස්ගේ සම්බන්ධයක් නෑ කියලා ජූරියට දැනුම් දීලා තියෙනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading