ඩිලන්ත මාලගමුව ඇතුළු 4 කට විදෙස් ගමන් තහනමක් ඉල්ලයි

කොළඹ බාන්ස් පෙදෙසේ ඉඩමකට හොර ඔප්පු සාදා විකිණීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (සැප්තැම්බර් 7) ඉල්ලා ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉල්ලීම කර ඇති අතර ඒ ඒ පිළිබඳව වන පැමිණිල්ල මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදීය.


එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට පෙර පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම්කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. එමෙන්ම එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලබන දින ඔවුන්ව සැකකරුවන් ලෙස නම්කර විදෙස් ගමන් තහනම ඉදිරිපත් කරන ලෙසයි.

කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි එම ඉඩම ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමක් විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් එම විමර්ශනය සිදුවන අතර විදෙස් ගමන් තහනම ඉල්ලූ පුද්ගලයින් හොර ඔප්පු සෑදීමේ සංවිධානාත්මක කල්ලියකට සම්බන්ධද යන්න තහවුරු කර ගැනීම සඳහා එම විමර්ශන සිදුකරන බවද, ඔවුන් රටෙන් පිට වූවහොත් විමර්ශනවලට බාධා සිදුවන බවද එහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව විදෙස් ගමන් තහනම ඉල්ලා ඇත්තේ ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ, සමන් ජයවීර හා ඩිලන්ත මාලගමුව යන අය සම්බන්ධයෙන්ය.

එම ඉඩම අලෙවි කර මුදල් බෙදා ගැනීමේදී මුදල් වෙනුවට සුඛෝපභෝගි වාහන 14ක් ඩිලන්ත මාලගමුව ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් එහිදී වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading