EPDP පක්ෂයේ හිටපු සාමාජිකයින් අටකට මරණ දඬුවම

2008 වසරේදී මඩකලපුව, එරාවූර් ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) හිටපු සාමාජිකයින් අට දෙනෙකුට මඩකලපුව මහාධිකරණය අද (නොවැම්බර් 19) මරණ දඬුවම නියම කර ඇත.

එම නඩුවේ විත්තිකරුවන් නව දෙනාගෙන් එක් අයෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. ජේ. ප්‍රභාකරන් නියෝග කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දේවදාස් සුරේෂ් කුමාර් නමැති පුද්ගලයෙකි.

2008 ජුනි 19 වැනිදා එවකට චෙංකලඩි කඳවුරේ රැඳී සිටි EPDP සාමාජිකයින් පිරිසක් විසින් ඔහු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ මළසිරුර වළදමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා ඇති බව ද නඩු විභාගයේදී හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය විසින් EPDP හිටපු සාමාජිකයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

මූලික නඩු විභාගයෙන් අනතුරුව 2016 වසරේදී මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා මඩකලපුව මහාධිකරණය වෙත යොමුකර තිබේ.

Author

Leave a Reply

Related Posts