HDFC අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඉවත් කරන ලෙස බලකරමින් ලංකා බැංකු සේවක සංගමයෙන් ජනාධිපතිවරයාට සංදේශයක්

HDFC බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කිත්සිරි විජයරත්න එම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙස බලකරමින් ලංකා බැංකු සේවක සංගමය (CBEU) විසින් ඊයේ (18) ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් භාර දෙන ලදී.

බැංකුව තුළ පවතින සේවක ගැටලු නොවිසඳීම, නව ගැටලු නිර්මාණය කිරීම, සේවක හිංසනය සහ සේවක වරප්‍රසාද කප්පාදු කිරීම යන චෝදනා අදාළ අධ්‍යක්ෂවරයාගේ බලපෑම මත සිදුවන බව පවසමින් සංගමය විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් ලෙස මෙම සංදේශය භාර දී ඇත.

මෙම අවස්ථාව සඳහා ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගම් නිලධාරී මණ්ඩලය, ශාඛා සංගම් නිලධාරී මණ්ඩල සාමාජිකයින් මෙන්ම HDFC බැංකු ප්‍රධාන කාර්යාලයේ සාමාජිකත්වය ද එක්ව ඇත.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සංගමයේ නියෝජිතයින් කැඳවා, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ විසින් අදාළ සංදේශය භාරගෙන තිබේ. එමෙන්ම, අදාළ අධ්‍යක්ෂවරයාගේ අවිධිමත් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ලබා දීමට ද ඒ මහතා එහිදී පියවර ගෙන ඇත.

එම සාකච්ඡාව සඳහා ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් එහි සභාපති, ප්‍රධාන ලේකම් සහ ජ්‍යෙෂ්ඨ උපලේකම් යන මහත්වරුන් ද, HDFC බැංකු ශාඛා සංගමය නියෝජනය කරමින් එහි සභාපති, ලේකම් සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති යන මහත්වරුන් ද සහභාගී වී තිබේ.

HDFC බැංකුව විනාශ මුඛයට ඇද දැමීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල වන මෙම අධ්‍යක්ෂවරයා තනතුරෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර නොගතහොත්, ඉදිරියේදී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරන බව ලංකා බැංකු සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Author

Leave a Reply

Related Posts