ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තර තලයේ අභිමානවත් ලෙස සලකුණු කරමින්, 9 වන මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී (MIFFest – Malaysia Golden Global Awards) හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා යන ප්‍රධාන සම්මාන ද්විත්වයම දිනා ගැනීමට විශිෂ්ට රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර සමත් වී තිබේ.
ඒ, සම්මානනීය සිනමාකරු ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රිවස්ටන්’ (Riverstone) චිත්‍රපටයේ දැක්වූ අසමසම රංග පෞරුෂය වෙනුවෙනි.
රිවස්ටන්’ චිත්‍රපටයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ චරිතයට අතිශය තාත්වික සහ ප්‍රබල ජීවයක් එක් කළ මහේන්ද්‍ර පෙරේරා වෙත හිමි විය. දේශීය සිනමාවේ ප්‍රමුඛතම නළුවෙකු වන මහේන්ද්‍ර පෙරේරාගේ මෙම ජයග්‍රහණය, ඔහුගේ දීර්ඝ සිනමා ගමනට එකතු වූ තවත් රන් සලකුණකි.
සියුම් හා ගැඹුරු රංග ශෛලියකින් ප්‍රේක්ෂක මනස ආකර්ෂණය කරගන්නා ප්‍රියන්ත සිරිකුමාර වෙත හිමි වූ අතර සෑම චරිතයකටම සාධාරණයක් ඉටු කරමින් අමතක නොවන අත්දැකීමක් බවට පත්කිරීමේ ඔහුගේ විශිෂ්ට කුසලතාව මෙම ජාත්‍යන්තර සම්මානයෙන් යළිත් ඇගයීමට ලක්ව ඇත.
දේශපාලනික හා මානව සංවේදී තේමාවක් ඔස්සේ දිවෙන ‘රිවස්ටන්’ චිත්‍රපටය මින් පෙරද ෂැංහයි, සිංගප්පූරුව සහ කල්කටා වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙලයන්හිදී සම්මානයට පාත්‍ර විය.
