දුරකතනයේ නිරූපණ ශිල්පීන් සහ දේශපාලනඥයන් 7 කගේ ඡායාරූප
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සංවිධානාත්මක අපරාධකරු ලබන සැප්තැම්බර් 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (25) නියෝග කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ සියලුම දත්ත මකා දමා තිබූ අතර, CID තාක්ෂණික අංශය විසින් ඒවා සාර්ථකව නැවත ප්රතිඋත්පාදනය (Data Recovery) කර ඇත. එහිදී හෙළි වූ වැදගත් තොරතුරු කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සිද්ධියට අදාලව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් මෙසේ පවසා තිබේ.
” ස්වාමීනි ,මෙම සැකකරු අත්අඩංගුවට ගන්නේ ජාත්‍යන්තරව නිකුත් කර තිබු රතු වරෙන්තුවකට අනුවයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත රැදවුම් නියෝග අද දක්වා විටින් විට ලබා ගත්තා. එහිදි කරන ලද විමර්ශනවලදී සැකකරු සන්තකයේ තිබු ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත්ත දේ එහි දත්ත සියල්ල මකා දමා තිබූණා. නමුත් එම දත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශ විසින් ප්‍රති උත්පාදනය කළා. ඒ අනුව කරන ලද විමර්ශනවලදී 8441 දුරකථන ඇමතුම් ලබාගෙන, තුන් ලක්ෂයක පමණ ඡායාරූප , 5031 ක වීඩියෝ දර්ශන සහ ටිගත කරන ලද දුරකථන ඇමතුම් 1101 ක් සොයා ගැනීමට හැකි වුණා වුණා.
” තවද මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු පිළිබඳ තොරතුරු ඔහුගේ ජංගම දුරකථනයේ සොයා ගැනීමට හැකි වුණා. ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කරලා තියෙන්නේ. තවද එම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් විසි දෙනාට වෙන වෙනම ගිණුම් 20ක් විවෘත කරලා. ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් සිදු කරනවා. තවද මෙම සැකකරු ඉන්දුනිසියාවේ නැවතී සිටි ස්ථානයේ ලේඛන 13ක් සොයා ගෙන තිබෙනවා.
” මෙම සැකකරුගේ ජංගම දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 13 දෙනකුගේ අංක සොයා ගත්තා , තවද නිරෑපණ ශිල්පින් ඇතුලු දේශපාලනඥයන් 7 දෙනෙකුගේ ඡායාරූප සොයා ගත්තා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වනවා. ඒ ගැන සැකකරුගෙන් ප්‍රකාශ ද සටහන් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී සැකකරු මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට තොරතුරු හෙළි කරගෙන තිබේ. එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් වෙන වෙනම විවෘත කරන ලද ගිණුම් 20ක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති අතර, ඒ ඔස්සේ මුදල් විශුද්ධිකරණය කිරීමේ පනත යටතේ ඉදිරි විමර්ශන කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක වේ.
එමෙන්ම ජාත්‍යන්තර මට්ටමින් රතු වරෙන්තු නිකුත් කර සිටින අපරාධකරුවන් 19 දෙනෙකු සමඟද සැකකරු සබඳතා පවත්වා ඇති බවට ඔහුගේ දුරකථන දත්ත ඔස්සේ තහවුරු වී ඇත. සැකකරු මුලින් නිත්‍යානුකූලව විදේශගත වී පසුව ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කරමින් රටවල් 13ක අවස්ථා 15කදී සංචාරය කර ඇති බවත්, ඔහු සන්තකයේ ගිනි අවි තබාගැනීම සම්බන්ධයෙන්ද විවිධ අධිකරණවල නඩු පවතින බවත් වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.
මීට අමතරව සැකකරුට අයත් බැංකු ගිණුම් 17ක් සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ATM යන්ත්‍ර මඟින් එම ගිණුම්වලට මුදල් බැර කරන ලද ස්ලීප් පත් රාශියක් සොයාගෙන ඇති අතර, එමඟින් සිදු වූ මුදල් හුවමාරු පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු 18 වන සැකකරු ලෙස නම් කර ඇති බවයි. එම ඝාතන සිද්ධියට අදාළ නඩුව නැවත කැඳවන අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාශය ඉල්ලා සිටියේය. තවද, මෙම විමර්ශනය සඳහා සැකකරු අත්‍යවශ්‍ය අයෙකු වන බැවින්, ඔහු නිසි ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයකට යොමු කිරීමට නියෝග කරන ලෙසද CCD නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඉල්ලා සිටියේ සිය සේවාදායකයා වැලිසර බන්ධනාගාරයට යොමු නොකර වෙනත් ආරක්ෂිත බන්ධනාගාරයකට යොමු කරන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුට බන්ධනාගාරය තුළ නිසි ආරක්ෂාව සැලසීමේ වගකීම බන්ධනාගාර අධිකාරීවරයාට පවරමින්, PTA පනත යටතේ ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
