අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර ඇති පෙත්සමට සහය පළ කරමින් ගොනු කර තිබෙන සියලු අතරමැදි පෙත්සම් කිසිදු නීතිමය පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බැවින් ඒවා විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද (25) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට එරෙහිව හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ රීට් පෙත්සම සහ ඊට සහය පළකරමින් ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ අද නැවත කැඳවනු ලැබීය.
බෙංගමුවේ නාලක හිමි, අහුංගල්ලේ සිරි ගුණානන්ද හිමි, යාපනයේ සුගතවංශ හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර සහ ජාතික දේශප්‍රේමී ව්‍යාපාරය විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
පසුගිය ජූලි 28 වැනිදා පෙත්සම්කාර සුරේෂ් සලේගේ මූලික පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය, පෙත්සම්කරු පිරිසිදු දෑතින් අධිකරණය හමුවට පැමිණ නැති බැවින් පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙස මීට පෙරද ඉල්ලා තිබිණි.
අද දින අතරමැදි පෙත්සම්වලට එරෙහිවද විරෝධතා දක්වමින් ඇය කියා සිටියේ පෙත්සම්කාර සුරේෂ් සලේට සහය පළකරමින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.
පෙත්සම්කරු සිය පෙත්සමෙන් පවසා තිබෙන කරුණු ඒ ආකාරයෙන්ම අතරමැදි පෙත්සම්කරුවන්ද සිය පෙත්සම්වලින් පවසන බවත්, පෙත්සම්කරු අවධාරණය කළ කරුණු නැවත නැවත පැවසීමට අතරමැදි පාර්ශ්ව අවශ්‍ය නොවන බවත් සුහර්ෂි හේරත් මහත්මිය පෙන්වා දුන්නාය.
2019 ජනවාරි 07 වනදා සිට නොවැම්බර් 29 වනදා දක්වා තමන් ඉන්දියාවේ ආරක්ෂක පුහුණු වැඩසටහනකට සහභාගී වී සිටි බවත් ප්‍රහාරය සිදුවන විට ලංකාවේ නොසිටියැයි පෙත්සම්කරුගේ තර්කය බව ඇය සඳහන් කළේය.
එමෙන්ම විමර්ශන වාර්තා මඟින් ප්‍රහාරය ISIS ආධාර මත සහරාන් හෂීම් ඇතුළු තව්හිද් ජමාත් සංවිධානය මෙහෙයවූ බවට සඳහන් වන නිසාත් තමන් ඊට ආධාර අනුබල දුන් බවට සාක්ෂි නැති නිසාත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට සාධාරණ සාක්ෂි නැති බව පෙත්සම්කරු පවසා තිබේ.
සුහර්ෂි හේරත් මහත්මිය පවසන්නේ, අතරමැදි පෙත්සම්කරුවන්ද පවසන්නේ එම කරුණුම බවයි.
එකම කරුණු නැවත කීමට පාර්ශව අවශ්‍ය නොවන බවත් අතරමැදි පෙත්සම්කරුවන් මහජන සුබසිද්ධිය පදනම් කරගෙන මැදිහත් වුවද මෙම නඩුකරයේ එවැනි පදනමක් නොමැති බවත් මෙහි ඇත්තේ විමර්ශනය හේතුවෙන් පෙත්සම්කරුගේ පෞද්ගලික නිදහස අහිමි වීම ඇතුළු කාරණා බවත් ඇය අවධාරණය කළාය.
එමෙන්ම සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ, පෙත්සම්කරු විමර්ශන නිලධාරීන් නොමඟ යැවීමේ අරමුණින් ප්‍රකාශ ලබා දී ඇති අතර ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ ප්‍රශ්න කිරීමේදීද අසත්‍ය කරුණු පවසා ඇති බවයි.
පෙත්සම්කරු 2019 ජනවාරි 03 වනදා ආරක්ෂක පාඨමාලාවට ඉන්දියාවට ගොස් නැවත පැමිණියේ දෙසැම්බර් මාසයේ බවට පවසා ඇති බවත් ඇය පැවසීය.
මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරි අවසන් වී පැමිණි පසු රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යාංශයට භාරදුන්යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙත්සම්කරු ගෙන් කළ විමසීම්වලදි ඔහු ප්‍රකාශ කළද, අධිකරණයට එහි සහතික කළ සත්‍ය පිටපතක් ඉදිරිපත් කර ඇති බව සුහර්ෂි හේරත් මහත්මිය පැවසීය.
විදේශ අමාත්‍යාංශයට භාරදුන්නේ නම් එහි සහතික කළ සත්‍ය පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළේ කෙසේදැයි ප්‍රශ්න කළ ඇය, ඕනෑම බලපත්‍රයක පිටු 64ක් තිබුණද ඉදිරිපත් කර ඇත්තේ තෝරාගත් පිටු කිහිපයක් පමණක් බවත්, රාජකාරී ගමන් බලපත්‍රයෙන් ඉදිරිපත් කර ඇත්තේ පිටු 4ක් පමණක් බවත් හෙළි කළාය.
එමෙන්ම විමර්ශකයන් ඇසූ ඉතා සරල ප්රශ්නවලටවත් පෙත්සම්කරු අවංකව පිළිතුරු දී නොමැති බවත් ජංගම දුරකථනයේ හා පරිගණකයේ රහස්පද ලබාදීම මඟහැරීම නිසා ඒවා ලබාගැනීමට අධිකරණ නියෝග ලබාගැනීමට විමර්ශකයන්ට සිදුවූ බවත් සුහර්ෂි හේරත් මහත්මිය පෙන්වා දුන්නාය.
පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ සිදුකළ විමර්ශනවලදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වීම හේතුවෙන් බවත් පාස්කු විමර්ශනවලට බාධා වන අයුරින් කටයුතු කරන පෙත්සම්කරුට සහය දක්වමින් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර ඇති බවත් ඇය සඳහන් කළාය.
කාදිනල්තුමා ගොනු කළ අතරමැදි පෙත්සම හැර අනෙක් සියලු පාර්ශ්ව පැමිණ ඇත්තේ සුරේෂ් සලේට සහය දැක්වීමට බව පැවසූ සුහර්ෂි හේරත් මහත්මිය පවසන්නේ, ඒ සඳහා ඔවුන් දක්වා ඇති ‘මහජන යහපත හා බුදුදහම’ යන කරුණු මත මෙම නඩුවට මැදිහත් වීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.
මෙවැනි පෙත්සම්වලට මැදිහත් වීමට අවසර දුනහොත් රටේ සිටින ඕනෑම අපරාධකරුවෙකු අත්අඩංගුවට ගත් විට මෙලෙස සහන ඉල්ලා අධිකරණයට පැමිණිය හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, නීතිමය තත්ත්වය සලකා බලා මෙම සියලු අතරමැදි පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා නොදී නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියාය.
මේ අතර අතරමැදි පෙත්සම්හි 6 වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින රොහාන් සිල්වා පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ඩී. පෙරේරා මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, අතරමැදි පෙත්සම්කරුවන් පෙත්සමට මැදිහත් වීමට අවශ්‍ය වන හේතුව සිය පෙත්සම් තුළින් පැහැදිලිව ඉදිරිපත් කර නොමැති බවයි.
අධිකරණයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන්නේ මූලික පෙත්සමට නොතීසි නිකුත් කිරීමෙන් පසුව අතරමැදි පෙත්සම්කරුවන් කරුණු තහවුරු කිරීම වුවද, මෙහිදී නොතීසි නිකුත් කිරීමටත් පෙර කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටින්නේ මන්දැයි කිසිදු හේතුවක් දක්වා නොමැති බව නීතීඥ සුරේන් ඩී. පෙරේරා මහතා පැවසීය .
කාදිනල්තුමාගේ පෙත්සම හැර අනෙක් පෙත්සම්වල පදනම ලෙස දක්වා ඇති ‘මහජන යහපත’ යන්න මීට පෙර රිට් නඩුවලදී ප්‍රමාණවත් කරුණක් ලෙස සලකා නොමැති අතර එය ඔප්පු කිරීමට කිසිදු පූර්වාදර්ශ නඩු තීන්දුවක් ඉදිරිපත් කර නොමැති බව නීතිඥවරයා සඳහන් කළේය.
මෙය මහජන යහපත උදෙසා ඇති නඩුවක් නොව, පෞද්ගලික නිදහස සහ රඳවා තබා ගැනීමට එරෙහිව ඇති නඩුවක් බැවින් මහජන යහපත පදනම මත මැදිහත්වීමට අවසර දුනහොත් මහේස්ත්‍රාත් අධිකරණ නඩු විමර්ශන පවා අපකීර්තියට පත්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, පෙත්සම් නැවත කැඳවීම ලබන සැප්තැම්බර් මස 03 වනදාට නියම කළේය.
