විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ට තමන් සේවය කරන ස්ථානවල මුහුණ දීමට සිදුවන ගැටලු සහ පැමිණිලි ඉතා ඉක්මනින් හා පහසුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද “LankaKonect“ ජංගම දුරකථන යෙදවුම නිල වශයෙන් ඊයේ (16) දින ජනගත කරනු ලැබුවා.
ඊයේ දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ගෘහස්ථ සේවක දිනයට සමගාමීව මෙම පැමිණිලි කළමනාකරණ ජංගම දුරකථන යෙදවුම (Complaint Management Application – CMA) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවති උත්සවයකදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් සිසුන් සහ මහජනතාව වෙත විවෘත විය.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන මෙම යෙදවුම හරහා විගමණික ශ්‍රමිකයින්ට තමන් සිටින ස්ථානයේ සිටම සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත Online පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. මීට අමතරව, අධ්‍යාපනය හෝ පදිංචිය සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ද තමන්ට ඇතිවන ගැටලු සෘජුවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත යොමු කිරීමට මෙයින් අවස්ථාව සලසා ඇත.
මෙම යෙදවුමේ ඇති සුවිශේෂීම වාසියක් වන්නේ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කිරීමට අමතරව, හඬ පට සහ වීඩියෝ දර්ශන මඟින් ද සාක්ෂි සහිතව ගැටලු ඉදිරිපත් කිරීමට හැකි වීමයි. එමෙන්ම තමන් ඉදිරිපත් කළ පැමිණිල්ල විමර්ශනය කෙරෙන වර්තමාන තත්ත්වය ද මෙමඟින් පහසුවෙන්ම පරීක්ෂා කරගත හැකි බව පැවසේ.
මෙම යෙදවුම ඕනෑම අයෙකුට Google Play Store සහ Apple App Store හරහා සම්පූර්ණයෙන්ම නොමිලයේ භාගත කරගත හැක.

