ශ්‍රී ලාංකිකයින් වසර ගණනාවක් පුරා බලාපොරොත්තුවෙන් සිටි ජාත්‍යන්තර Paypal ගෙවීම් වේදිකාව හරහා මුදල් ගෙන්වා ගැනීමේ (Inward Remittances) පහසුකම අද (15) සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව රජය සහ Paypal සමාගම නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් වූ නිල එකඟතාවය සහ මෙහෙයුම් ආරම්භ කිරීම අද දින සිදුකෙරෙන අතර, මින් ඉදිරියට මෙරට ව්‍යවසායකයින්ට සහ නිදහස් වෘත්තිකයින්ට කිසිදු බාධාවකින් තොරව විදේශීය ගෙවීම් සෘජුවම සිය බැංකු ගිණුම් වෙත ලබාගැනීමේ හැකියාව උදාවනු ඇත.
ජාත්‍යන්තර PayPal ගෙවීම් මෙහෙයුම් හසුරුවන සිංගප්පූරුවේ ලියාපදිංචි PayPal Pte. Ltd. සමාගමේ නිල දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු ත්‍රිත්වයක් දැනටමත් මෙම සේවාව සඳහා අවශ්‍ය හවුල්කාරීත්වය ලබා දී ඇත.
ඒ අනුව, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු පද්ධතීන් හරහා මෙම නව ගෙවීම් පහසුකම ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම බැංකු තෝරා ගැනීමත් සමඟ මෙරට පරිශීලකයින්ට වඩාත් විශ්වාසනීය සහ කඩිනම් සේවාවක් ලබාගැනීමේ අවස්ථාව උදාවන අතර, විදේශීය මුදල් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ගෙන්වා ගැනීමේ තාක්ෂණික පදනම ද මින් ශක්තිමත් වනු ඇත.
මෙම නව පහසුකම හඳුන්වා දීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට දැවැන්ත ජවයක් සපයන සන්ධිස්ථානයකි. මීට පෙර මෙරට තුළ පැවතියේ PayPal හරහා මුදල් ගෙවීමේ සේවාව පමණක් වන අතර, මුදල් ගෙන්වා ගැනීමේ නොහැකියාව හේතුවෙන් මෙරට තරුණ ප්‍රජාව සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් දිගුකාලීනව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්හ.
කෙසේ වෙතත්, මෙම නව පිවිසුමත් සමඟ විදේශ විනිමය සෘජුවම මෙරටට ගලා ඒම වර්ධනය වන අතර, මෙතෙක් කල් විවිධ තෙවන පාර්ශවීය ගෙවීම් ක්‍රම හරහා මුදල් ලබාගැනීමේදී වැය කිරීමට සිදු වූ අමතර ගාස්තු සහ අතරමැදි වියදම් මුළුමනින්ම ඉවත් වනු ඇත.
මොකද්ද මේ Paypal?
Paypal යනු අන්තර්ජාලය හරහා ආරක්ෂිතව මුදල් ගෙවීමට සහ මුදල් ලබාගැනීමට ලොව පුරා බහුලවම භාවිතා වන විද්‍යුත් ගෙවීම් පද්ධතියකි (Online Payment System). 1998 දී ආරම්භ වූ මෙය, වර්තමානයේ ලෝකයේ වඩාත්ම විශ්වාසදායී “ඩිජිටල් පසුම්බියක්” ලෙස හැඳින්විය හැකිය.
PayPal පද්ධතියේ ඇති ප්‍රධානතම වාසිය වන්නේ බැංකු ගිණුම් හෝ කාඩ්පත් විස්තර අලෙවිකරුවන්ට හෙළි නොකර, ඊමේල් ලිපිනයක් පමණක් භාවිතයෙන් අන්තර්ජාලය හරහා ඉතා ආරක්ෂිතව ගනුදෙනු කිරීමට හැකි වීමයි.
මෙය ලෝකයේ ඕනෑම රටක සිටින අයෙකුට ඉතා ඉක්මනින් මුදල් යැවීමට මෙන්ම, නිදහස් වෘත්තිකයින්ට තමන්ගේ සේවාවන් වෙනුවෙන් විදේශයන්හි සිට ලැබිය යුතු ගෙවීම් සෘජුවම ලබාගැනීමට ඉඩ සලසන මූල්‍ය පාලමකි.
රටවල් 200 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති මෙම සේවාව මඟින් විවිධ මුදල් වර්ග 25 කට වඩා වැඩි ප්‍රමාණයකින් ගෝලීයව ගනුදෙනු කිරීමේ පහසුකම සපයයි. එසේම, වෙබ් අඩවියක් හෝ ජංගම දුරකථන යෙදුමක් හරහා ඉතා සරලව ගිණුමක් ආරම්භ කර ඕනෑම වේලාවක ගනුදෙනු හැසිරවීමට ඇති පහසුව නිසා මෙය ලොව පුරා අතිශය ජනප්‍රිය වී තිබේ.
