ශානිගේ නම භාවිතා කරමින් ව‍්‍යාජ Email පණිවුඩ යවලා ! රැවටෙන්න එපා !! – පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ නම හා ලිපිනය සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩයක් කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් මේ දිනවල මහජනතාව වෙත යොමු කරන බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසනවා.

ඒ අනුව අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර (Shani Abesekara. Director of the Criminal Investigation Department (CID), Colombo 07, Sri Lanka, NationWide Could, Protection 24/7) යනුවෙන් ව්‍යාජව සකස් කළ email පණිවිඩයක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙලෙස මහජනතාව වෙත යොමු කරන බවයි පොලීසිය පවසන්නේ.

මෙම email පණිවිඩය කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොමු කරනු ලැබූ විද්‍යුත් තැපැල් පණිවිඩයක් නොවන බවත්, noucinatacha20@gmail.com, police.cid.lk@gmail.com යන විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කර ඇති ඉහත ව්‍යාජ විද්‍යත් පණිවිඩ ජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු ලබාගැනීම යන වංචනික ක්‍රියාවන් සිදුකිරීමේ අරමුණින් යොමු කර ඇති බවට සැක පළ කරන බවත් පොලීසිය සඳහන් කරනවා.

කෙසේ නමුත්, මෙම ව්‍යාජ පණිවිඩය යොමු කරනු ලැබූ පුද්ගලයන් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම හා ඒ හා සම්බන්ධව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බවත්, මෙකී විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින් යොමු වන පණිවිඩයේ ඇතුලත් අන්තර්ගතයට පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙසත් පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙනවා‍.

Author

Related Posts