පාරිභෝගිකයෙකු සාප්පු සොරෙකු ලෙස වැරදි ලෙස හඳුනාගෙන ඔහුව සාප්පුවෙන් ඉවත් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ Sainsbury’s (සේන්ස්බරීස්) නම් සමාගම විසින් සිය එක් වෙළඳසැලක AI මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතා කිරීම තාවකාලිකව නවතා දමා ඇත.
“මම අපහසුතාවයට පත් වුණා, ලැජ්ජාවටත් පත් වුණා, ඒ වගේම මට විශාල අවමානයක් සහ අසරණ බවක් දැනුණා,” යනුවෙන් 46 හැවිරිදි මැට් ආර්නෝල්ඩ් (Matt Arnold) ඔහුට මුහුණදීමට සිදුවූ අමිහිරි අත්දැකීම පිළිබඳව ගාඩියන් වෙත පැවසීය.
ප්‍රහසන වැඩසටහන් සංවිධායකවරයෙකු වන ඔහු, ගිනිකොනදිග ලන්ඩනයේ ඊස්ට් ඩල්විච් (East Dulwich) හි පිහිටි වෙළඳසැලෙන්, ඩල්විච් හැම්ලට් පාපන්දු සමාජයේ පැවැත්වීමට නියමිතව තිබූ ස්ටෑන්ඩ්අප් (standup) වැඩසටහනක් සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගනිමින් සිටියේය. ඔහු සිය භාණ්ඩ සහ නෙක්ටාර් (Nectar) කාඩ්පත ස්කෑන් කිරීමෙන් පසු, කළමනාකරුවන් දෙදෙනෙකු ඔහු වෙත පැමිණ, පෙර සිදුවීමක් හේතුවෙන් ඔහුට සේවා සැපයිය නොහැකි බව පැවසූහ. ඉන්පසු ඔහුට සාප්පුවෙන් පිටව යන ලෙස ඉල්ලා සිටි අතර, ඔවුන් ඔහුව වෙළඳසැලෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළහ.
“ඔවුන් මට කෙලින්ම කිව්වේ ඔවුන් මාව එළියට දක්කන බවයි,” ආර්නෝල්ඩ් පැවසීය. “ඒ වෙලාවේ මම කිව්වා තනිවම එළියට යන්නම් කියලා.”
ඔහු පිටව යන විට, ඔහුගේ මුහුණ වටා රතු රවුමක් සලකුණු කර තිබූ ඉහළ සවි කර ඇති CCTV මොනිටරයක අනතුරු ඇඟවීමක් ඔහු දුටුවේය. ඔහු එහිදී කියා තිබුණේ එහාපැත්තේ ගොඩනැගිල්ලේ සිටින තමන්ගේ මිතුරෙකුට තමා දැනටමත් ට්‍රොලියේ තබාගත් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සලසන ලෙසත්, එතෙක් ට්‍රොලියේ භාණ්ඩ තබා ගන්නා ලෙසත්ය.
එම ඉල්ලීම ගැන ඔවුන් ව්‍යාකූල වූ නමුත්, ඔවුන් එකග වී තිබුණි.
“සාප්පුවලින් බඩු හොරකම් කරන කෙනෙක් මේ විදියට හැසිරෙන්නෑ කිල තේරුම් ගන්න කාර්ය මණ්ඩලය උත්සාහ කළේ නෑ. ඔවුන් තමන්ගේ තර්ක බුද්ධිය මෙහෙයවූවේ නෑ. ඔවුන් කෘත්‍රිම බුද්ධියේ විධානය අන්ධ විදියට අනුගමනය කළා විතරයි. ” ඔහු එසේ පවසන්නේ තමන් සොරකම් නොකළ බව පැහැදිලි වීමෙන් පසුවත් කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන් කෘත්‍රිම බුද්ධියට යට වී කටයුතු කළ බව පෙන්වමිනි.
Sainsbury’s ප්‍රධාන කාර්යාලය පසුදින ආර්නෝල්ඩ්ගෙන් සමාව අයැද සිටි අතර, පරීක්ෂණයක් පැවැත්වෙන තුරු එම වෙළඳසැලේ AI ආධාරයෙන් ක්‍රියාත්මක වන Facewatch (ෆේස්වොච්) තාක්‍ෂණය භාවිතා කිරීම නවතා දමා ඇත. නමුත් ආර්නෝල්ඩ් පවසන්නේ සියලුම වෙළඳසැල්වල මෙම තාක්ෂණය භාවිතය නැවැත්විය යුතු බවත්, සමාජය තුළ AI භාවිතා වන මට්ටම බරපතල ගැටලුවක් බවත්ය.
“ඕනෑම කෙනෙකුට බොරු චෝදනා එල්ල වෙන්න පුළුවන්, යම් අවස්ථාවකදී එය කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටලු ඇති කෙනෙකුට, අවදානමට ලක්විය හැකි කෙනෙකුට වෙන්න පුළුවන්.” ඔහු පැවසීය. “ඒ වගේම, මම වගේ ඍජුව ප්‍රශ්නය කතා කරලා විසදාගන්න අකමැති හෝ නොහැකි තරුණ කෙනෙකුට මේ දේ සිද්ධ වුණොත් එයින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය විනාශ වෙන්න පුලුවන්.”
මෙම සුපිරි වෙළඳසැල් ජාලය මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතා කරන්නේ සාප්පු සොරුන් සහ වෙනත් අපරාධකරුවන් හඳුනා ගැනීමටය. නමුත් මෙම තාක්ෂණය බොහෝ ගැටලුවලට මුහුණ දී ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේදී දකුණු ලන්ඩනයේ එලිෆන්ට් ඇන්ඩ් කාසල් (Elephant and Castle) හි පිහිටි ශාඛාවකින් වොරන් රාජා (Warren Rajah) නම් තවත් පාරිභෝගිකයෙකු ඉවත් කරන ලද්දේ ද මෙම Facewatch මෘදුකාංගය මගින් ඔහුව වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසුවය. Home Bargains සහ B&M වෙළඳසැල් ඇතුළුව තවත් මෙවැනිම සිදුවීම් වාර්තා වී ඇත.
ආර්නෝල්ඩ් මෙසේ පැවසීය: “Sainsbury’s සහ ඇත්ත වශයෙන්ම Facewatch භාවිතා කරන වෙනත් ඕනෑම සමාගමක්, අවම වශයෙන් පද්ධතිය දෝෂ රහිතව ක්‍රියා කරන බවට සහතික කළ හැකි වන තුරුවත් එය වහාම අක්‍රිය කළ යුතුයි. මගේ සිදුවීම සිදුවූ ඊස්ට් ඩල්විච් වෙළඳසැලේ නිරීක්ෂණ කටයුතු අත්හිටුවන බව ඔවුන් නිවේදනය කර තිබෙනවා, නමුත් මෙය මධ්‍යගත පද්ධතියක් නිසා, එය සෑම වෙළඳසැලකම අත්හිටුවන්නේ නැත්තේ ඇයි? ඊස්ට් ඩල්විච් වෙළඳසැලේ යම් ගැටලුවක් තිබේ නම් – එය AI තාක්ෂණයේම ගැටලුවක් හෝ එය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් වේවා – සියලුම වෙළඳසැල් වලද එවැනි ගැටලු ඇතිවීමේ හැකියාවක් පවතිනවා.”
සමාජය තුළ AI තාක්ෂණයේ නැගීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන බව ඔහු පැවසීය. “මම මේ විදියට හැමදේම නිරීක්ෂණය කරන සංස්කෘතියට අකමැතියි, සමහර අවස්ථාවලදී එය කොතරම් අවශ්‍යද යන්න මට පෙනෙනවා. නමුත් අවශ්‍ය නොවන දෙය තමයි යන්ත්‍රවලට තීරණ ගැනීමට ඉඩ දී, මනුෂ්‍යයින් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඒවායේ විධානයන් ඉටුකිරීම බලාපොරොත්තු වීම.”
Sainsbury’s මාධ්‍ය ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය: “අපගේ ඩල්විච් සුපිරි වෙළඳසැලේදී ඔහුට මුහුණදීමට සිදුවූ අත්දැකීම සම්බන්ධයෙන් සමාව අයැදීමට අපි ආර්නෝල්ඩ් මහතා සම්බන්ධ කර ගත්තෙමු. මෙම සිදුවීම සිදුවී ඇත්තේ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය නිසා නොව මානව දෝෂයක් හේතුවෙනි. Facewatch පද්ධතියට 99.98% ක නිරවද්‍යතා අනුපාතයක් ඇති බවට පාරිභෝගිකයින්ට සහතික විය හැකි අතර, සෑම හඳුනාගැනීමක්ම පුහුණු කළමනාකරුවෙකු විසින් සමාලෝචනය කරනු ලැබේ.”
Facewatch ප්‍රකාශකයෙකු කියා ඇති නිදහසට කරුණ වන්නේ මෙය තාක්ෂණයේ දෝෂයක් නොව සේවකයන්ගේ දෝෂයක් බවය.
කෙසේ වෙතත්, මෙම තාක්ෂණයේ දෝෂ ඇති බව මේ වෙද්දී අවස්ථා කිහිපයකදී වාර්තා වී තිබෙන නිසා වෙළදසැල් ජාලයේ පැහැදිලි කිරීම පිළිබද එරට සමාජයේ පවතින්නේ සැකයකි.
