ඉදිරි උත්සව සමයේ දී අන්තර්ජාල පරිශීලකයන් ඉලක්ක කරගනිමින් අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් ව සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ, ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුනුපොල සඳහන් කරන්නේ, මෙම වසරේ ගත වූ මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වෙත වාර්තා වී ඇති බවත්, ඉදිරියේ දී පැමිණෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කේන්ද්‍ර කරගත් උත්සව සමයත් සමඟ, වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙනෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක් අන්තර්ජාලය හරහා පැතිර යාමේ අවදානම ඉහළ යා හැකි බවත් ය.
කෙසේ නමුත්, එවැනි ලින්ක් හරහා පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කිරීමටත්, ඉන් එම පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් දත්ත සොරා ගැනීමට්, අවදානමක් පවතින බවයි ඔහු වැඩිදුරටත් එහි දී අවධාරණය කරනු ලැබුවේ.
මීට අමතරව, වෙසක් සහ පොසොන් උත්සව සමයන් සමඟ “පොසොන් මහා ඩේටා දන්සල” වැනි විවිධ ආකර්ෂණීය හා රැවටිලි සහගත නාමයන් යටතේ පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන වංචනික ක්‍රියා සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඔහු අවසාන වශයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අන්තර්ජාලය හරහා ලැබෙන සැක කටයුතු අනියම් ලින්ක් හෝ වෙළෙඳ දැන්වීම් වෙත පිවිසීමේදී සැලකිලිමත් වන ලෙසයි.
