ධීවරයන් 41ක්, යාත්‍රා 82ක්, විදේශ රටවල අත්අඩංගුවේ

2020 වසරේ සිට 2026 වසර දක්වා ධීවර කාර්මිකයන් 41 දෙනෙකු සහ ධීවර යාත්‍රා 82ක් විදේශ රටවලදී අත්අඩංගුවට පත්ව ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට ඔක්තෝබර් 23 වැනිදා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

2022 වසරේදී මාලදිවයින විසින් ධීවර යාත්‍රා 2ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව එම යාත්‍රා 2 නිදහස් කර ඇතත් මේ දක්වා ඒවා මෙරටට රැගෙනවිත් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව, සීෂෙල්ස් රාජ්‍යය විසින් අත්අඩංගුවට ගනු ලැබූ යාත්‍රා 7ක් විනාශ කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, විදේශ රටවලදී අත්අඩංගුවට පත්වන ධීවරයන් සහ ධීවර යාත්‍රා සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් බවයි. ඇතැම් අවස්ථාවලදී එම ධීවරයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් පවා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සපයා දෙනු ලබන බවද ඔහු සඳහන් කළේය.

තවද, මෙම ධීවර යාත්‍රා නිදහස් කර ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading