ඕනෑම දුෂ්කර සමයකට ධෛර්යයෙන් මුහුණ දීමටත් හෘද සාක්ෂිය මුල් කරගෙන සාධාරණත්වය කෙරෙහි විශ්වාසය තැබීමටත් තමන් උගත් බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
රෝහල්ගතව සිටින සිය පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවූ ලිපියේ සඳහන් වචනවලට අද වන විට වඩාත් ගැඹුරු අර්ථයක් එක්වී ඇති බැවින් සත්යය කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන බව ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සඳහන් කර තිබෙනවා.
දුෂ්කර කාලසීමාවන්හිදී තමන් විසින් රැකගත් ප්රතිපත්ති සහ ධර්මතාවන් කිසිදු වෙනසකින් තොරව ඉදිරියටත් පවත්වාගෙන යන බව සඳහන් කරන නාමල් රාජපක්ෂ මහතා, පියා විසින් සිය ලිපියෙන් සිහිපත් කළ වදන්වලින් තවත් ශක්තිමත් වූ බව එම සටහන මඟින් අවධාරණය කළා.
නවලෝක රෝහලේ ප්රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය පුතු වෙත යොමු කරන ලද ලිපියට ප්රතිචාර වශයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙම සටහන පළ කර තිබෙනවා.
එම ලිපිය මඟින් හිටපු ජනාධිපතිවරයා විසින්, 2010 වසරේදී නාමල් රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසීමට අවසර ඉල්ලූ අවස්ථාවේ තමන් ලබාදුන් අවවාදය සිහිපත් කර තිබුණා.
“කැමති නම් දේශපාලනයට එන්න, හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න, ඒකට මට කමක් නෑ” යනුවෙන් එදා පැවසූ බව සඳහන් කරන මහින්ද රාජපක්ෂ මහතා, තමන් දේශපාලනයට පිවිසි මුල් කාලයේදීද එවකට පැවති ආණ්ඩුව පදනම් විරහිත චෝදනා නගමින් තමන්ව බන්ධනාගාරගත කළ බවත් එකල නාමල් උපත ලබා පවා නොසිටි බවත් සඳහන් කර තිබෙනවා.
එදා තමන් තුළ පැවති එකම විශ්වාසය අධිකරණය පමණක් වූ බැවින් කවුරුන් කුමක් කීවද අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන ලෙස හිටපු ජනාධිපතිවරයා නාමල් රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබෙනවා.
දෛවෝපගත ලෙස නාමල් උපත ලැබූ නවලෝක රෝහලේම මේ දිනවල තමන් සහ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රෝහල්ගතව ප්රතිකාර ලබන බව පවසන හිටපු ජනාධිපතිවරයා, අනෙක් පුතුන් වන යෝෂිත සහ රෝහිත සිය සුවදුක් විමසා බලන බවද සඳහන් කර තිබුණා.
යෝෂිතට නඩුවක් පැවරී ඇත්තේ ඔහු නාවික හමුදාවේ රැකියාවට යාම නිසා බව පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා, එකල රැකියා ලබාදුන් දහස් ගණන් තරුණයන් අතර වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයන්ගේ දරුවන්ද සිටි බවත් තමන්ට බලය ඇති කිසිදු අවස්ථාවක එවැනි අය පසුපස පළිගැනීමේ චේතනාවෙන් හඹා නොයන ලෙස නාමල් ඇතුළු දරුවන්ට අවවාද කර තිබෙනවා.
දෙමව්පියන් කරන දෙයට දරුවන් පළි නොමැති බව සිය ස්ථාවරය බව සඳහන් කරන මහින්ද රාජපක්ෂමහතා, පළි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්රමය මෙන්ම සම්ප්රදාය බවද පවසනවා.
තවද මෙරට දුක් විඳින ලක්ෂ සංඛ්යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන්ව සමාජය කිසිසේත්ම වැරදිකරුවන් නොකරන බව පෙන්වා දෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණයකින් පරාජය කරනු ලැබුවද මෙරට ජනතාව කළගුණ සලකන සමාජයක් බව විශ්වාස කරමින් අනාගත කටයුතු සිදුකරන ලෙසද සිය ලිපිය මගින් උපදෙස් දි තිබෙනවා.

