රක්ෂිත බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත චීවරය ඇන්දවීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු
බුද්ධික සී රාගල මහතා පවසනවා.
එසේ නම් සිරගතව සිටින සෙසු සියලු භික්ෂූන් වහන්සේලාද අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ මහානායක හිමිවරුන් ලවා සිවුරු අන්දවා දැයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අද විවෘත අධිකරණයේදී ප්රශ්න කර සිටියා.
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් සිදුකරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට ක්රියාකිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්කළා.
එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර ඥානසාර හිමියන්ව වට්ස්ඇප්වී ඩියෝ තාක්ෂණය ඔස්සේ මාර්ගගතව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
විත්තිකාර හිමිනම මෙලෙස මාර්ගගතව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මහාධිකරණ විනිසුරුවරයා, අභියාචනාධිකරණය ලබාදුන් දඬුවම් නියෝගයකට අනුව ඥානසාර හිමියන් බන්ධනාගාරගත වීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේගේ සිවුර ඉවත් කර සුදු වස්ත්රයක් අන්දවා අනෙකුත් නඩු කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව පෙන්වාදුන්නා.
එම සිදුවීමත් සමඟ රටේ භික්ෂූන් වහන්සේලා පිරිසක් කලබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඇතිවිය හැකි නොසන්සුන්කාරී තත්ත්වය වළක්වාගැනීම සඳහා විත්තිකරු මාර්ගගත ක්රමවේදය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන බවට දින දෙකකට පෙර බන්ධනාගාර නිලධාරීන් මෝෂන් පත්රයක් මඟින් දැනුම් දී තිබූ බව විනිසුරුවරයා සඳහන් කළා.
අනතුරුව විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, බන්ධනාගාර නිලධාරීන් විසින් ඉවත් කරන ලද සිවුර බන්ධනාගාර නීති උල්ලංඝනය නොවන පරිදි නැවත චාරිත්රානුකූලව ඥානසාර හිමියන්ට ඇන්දවිය යුතු බවට කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාරය වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණද ඊට මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති බවයි.
ඒ අනුව උන්වහන්සේට නැවත චාරිත්රානුකූලව චීවරය ඇන්දවීමට අවශ්ය පියවර ගන්නා ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියා.
එම ඉල්ලීම ප්රතික්ෂේප කරමින් කරුණු දැක්වූ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා, චූදිතගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව අවධාරණය කලා.
විවිධ වැරදිවලට වරදකරුවන් වී බන්ධනාගාරගතව තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් පසුවන බව පැවසූ විනිසුරුවරයා, ඒ සියලු හිමිවරුන් නැවත නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සිදුවන්නේ මහානායක හිමිවරුන් ලවා සිවුරු අන්දවා දැයි ප්රශ්න කර සිටියා.
මීට අමතරව 2024 අංක 50 දරන අපරාධ නඩු විධාන සංග්රහ (සංශෝධන) පනත යටතේ වරද පිළිගැනීමේ එකඟතා ගිවිසුමකට දෙපාර්ශ්වය එළඹෙන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේදී අධිකරණයට කරුණු දක්වන ලෙසද විනිසුරුවරයා දෙපාර්ශ්වයට නියෝග කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය, අදාළ නඩුව නැවත ලබන 2027 ජනවාරි මස 29 වැනිදා කැඳවීමට නියම කළා.
