විහාරමහාදේවියේ ඇඳුම් හුටපටේ ගැන සජිත් කතාකරයි

විහාරමහාදේවී උද්‍යානයේ විරෝධතාවල නිරතවූ කාන්තාවන්ගේ වස්ත්‍ර තුළට උසාවි නියෝග ඔබා දමමින් ඇතැම් නිලධාරීන් සිදුකළ අශිෂ්ට අශීලාචාර සහ පහත් ක්‍රියාව තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විහාරමහාදේවී උද්‍යානයේ උද්ඝෝෂණයේ නිරතවූ මහා සංඝරත්නය සහ සිවිල් පුරවැසියන් ඉවත් කිරීමට උසාවි නියෝග භාරදීමේදී සිදුවූ අකටයුතුකම් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ විහාරමහාදේවී උද්‍යානයේදී මහා සංඝරත්නය ප්‍රමුඛ සිවිල් පුරවැසියන් ඉතා සාමකාමී සහ වගකිවයුතු අයුරින් උද්ඝෝෂණයක නිරත වූයේ තමන් විශ්වාස කරන මතයක් වෙනුවෙන් බවත් එලෙස ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකමක් බවයි.

රජය මේ පිළිබඳව නොදන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ 14 වැනි වගන්තිය මඟින් සාමකාමීව රැස්වීමේ නිදහස, භාෂණයේ නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැහැදිලිවම තහවුරු කර ඇති බවද ඔහු පවසනවා.

මෙම තත්ත්වය හමුවේ වත්මන් රජය උසාවි නියෝගයක් ලබාගෙන එම ස්ථානයේ නිදහසේ අදහස් පළ කළ සංඝරත්නය ඇතුළු සිවිල් ප්‍රජාව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, උසාවි නියෝගයක් භාරදීමට නීත්‍යානුකූල ක්‍රමවේදයක් පවතිද්දී නිලධාරීන් මෙලෙස කාන්තාවන්ගේ ඇඳුම් තුළට අදාළ නියෝග පත්‍ර ඔබා දැමීම අතිශය ලැජ්ජා සහගත සහ වැරදි ක්‍රියාවක් බව සඳහන් කළා.

එක් පසෙකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ, රැස්වීමේ සහ අදහස් පළකිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් අහුරමින් අනෙක් පසෙකින් එම විරෝධතා මැඩපැවැත්වීමට ලබාගන්නා උසාවි නියෝග කාන්තාවන්ගේ වස්ත්‍ර තුළට ඔබමින් මෙවැනි අශීලාචාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට සහ එය ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා, වත්මන් රජයට ජනවරම හිමිවූයේ මෙවැනි මර්දනකාරී දේ සිදුකිරීමට නොව ජනතා අයිතිවාසිකම් සුරැකීමට බව වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading