විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටි පිරිසට දුන් අධිකරණ නියෝගයේ වෙනසක් නෑ

විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරත වන පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ඊයේ (22) ලබා දුන් අධිකරණ ආඥාව වෙනස් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කර තිබේ.

එම නියෝගයට එරෙහිව යම් ක්‍රියාවක් සිදුවුවහොත් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට බලය ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මෙම නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්‍යානයේ සිදු කරන සත්‍යග්‍රහයට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය ඊයේ දින නිකුත් කරන ලද ආඥාව ඉවත් කරන ලෙස හෝ වෙනස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මෝසම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම වාරණ නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට උලපනේ සුමංගල හිමි ඇතුළු පිරිසක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ඊයේ දින පොලීසිය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ස්වාමින්වහන්සේලා හා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විසින් කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි විහාර මහාදේවි උද්‍යානය තුල රැඳී සිටිමින් පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති විසින් කොළඹ ප්‍රධාන ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙන් පසුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දෙන ලද නියෝගයේ සඳහන් හේතු අනුව පහත අයවළුන්ට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) ප්‍රතිපාදන ප්‍රකාරව ආඥාවක් නිකුත් කර ඇත.

අඛණ්ඩව විරෝධතාකරුවන් සමඟ රැඳී සිටින හික්ෂූන් වහන්සේලා

1. පූජ්‍ය උලපනේ සුමංගල හිමි
2. පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි ඇතුලු විහාරස්ථානයන්හි විහාරධිපති හා අනෙකුත් ස්වාමින් වහන්සේලා
3. සිවිල් ක්‍රියාකාරීන් හා විවිධ දේෂපාලන පක්ෂ නියෝජිත සාමාජිකයින්

ඉහත අයවලුන් හා ඔවුන්ගේ සාමාජිකයින් හා සහාභාගි වන වෙනත් තැනැත්තන් වෙත,

ඒ අනුව,

කුරුඳුවත්ත පොලිස් වසමේ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්‍රය, ඇවිදින මංතීරු, එෆ්.ආර්.සේනානයක මාවත, ලිප්ටන් වට රවුම, සොයිසා වට රවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන්පාත් පාර, මල්පාර, යන මාර්ග අවහිර නොකරන ලෙසත්, මල්පාර අගමැති කාර්යාලය ඉදිරිපිට හා විහාර මහාදේවි උද්‍යානය බුදු පිළිමය පරිශ්‍රයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් වලකින ලෙසත් පොදු හා පුද්ගලික දේපළ වලට හානි නොකරන ලෙසත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ආඥාව නිකුත් කර ඇත.

තවද, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (3) වගන්තිය ප්‍රකාරව අදාල නියෝග සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව පොලිසියට ඇති අතර මෙම ආඥාව කඩ කිරීම එකී පරිච්ඡේදයේ සඳහන් පරිදි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading