ලංකාවේ වෙරළ තීරයම වනසන හැටි සැලසුම් කරන්න, හෙට කර්මාන්ත අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්!

මේ වන විට ජාතික ආර්ථිකය ගොඩගැනීමේ නාමයෙන්, රටේ පවතින සීමිත සහ යළි ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි ඛනිජ සම්පත් විදේශීය සහ දේශීය කොල්ලකරුවන් පිරිසකට පවරා දීමේ මහා පරිමාණ මෙහෙයුමක් දියත් වී තිබේ.

රජයේ ඇමතිවරුන්වද රවටමින් දියත් වන මෙම වයාපෘතියේ විශේෂ පියවරක් ජුලි 17 වැනිදාට සැලසුම් කර ඇත.

අප සතුව ඇති, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් 2026 ජූලි 08 වන දින නිකුත් කරන ලද යොමු අංකය: MI/PD III/06/GSMB/03 වූ ලිපියට අනුව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැදවා තිබේ.

ඛනිජ වැලි අපනයනය සඳහා ආයෝජන මණ්ඩලය (BOI) වෙත ඉදිරිපත්ව ඇති ව්‍යාපෘති යෝජනා 15ක් ක්‍රියාත්මක කිරීමේ “අරමුණින්” අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව ලිපියේ සදහන්ය. ගැටලුව වන්නේ මෙම ඛනිජ වැලි ව්‍යාපෘති ගැටලු සහගත සහ දූෂණ චෝදනාවලට ලක් වූ ඒවා වීමය.

මෙම සාකච්ඡාව 2026 ජූලි 17 වන දින පෙ.ව. 11.30 ට, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ඊට සහභාගී වන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට, අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ (GSMB) සභාපතිවරයාට උපදෙස් දී ඇත.

ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා යොමු කර ඇති අදාල ලිපියට අනුව, 2023 සිට 2025 දක්වා කාලය තුළ ඛනිජ වැලි කැනීම සහ සැකසීම සඳහා ව්‍යාපෘති යෝජනා 15ක් ලැබී ඇති අතර, එහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 1,075.54 (ඩොලර් බිලියනයකට අධික) කි. මෙයින් දැනටමත් ‘Sun Minerals Mannar (Pvt) Ltd’ සහ ‘Fortune Minerals Hambantota (Pvt) Ltd’ යන සමාගම් දෙකක් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන්ය.

මෙම ව්‍යාපෘතිවල භයානකත්වය හෙළි වන්නේ නීතිමය සහ පාරිසරික විශ්ලේෂණ හරහාය. විශේෂයෙන්ම 2023/07/31 දින කැබිනට් තීරණය මගින් “ඛනිජ වැලි සැකසුම් කර්මාන්තය” ප්‍රවර්ධනය කිරීමට මුවා වී, නීති විරෝධී ලෙස බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන ඇත. මේ ක්‍රමවේදය ගැන ඉදිරියේදී අපි වැඩිදුරටත් හෙළි කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

අප වෙත ලැබී ඇති දත්තවලට අනුව, මේවා හුදෙක් නව ආයෝජන නොවේ. බොහෝ විට සිදුවන්නේ 2009 රාජපක්ෂ යුගයේ පටන් පැවති, වරක් අවලංගු කළ හෝ අත්හිටවූ බලපත්‍ර, නව සමාගම් නාමයන් සහ දේශපාලන හිතවතුන්ගේ නම් යටතේ නැවත කරළියට ගෙන ඒමයි.

BOI වාර්තාව මගින් දක්වන පරිදි, දැනට ගිවිසුම් අත්සන් කර ඇති ව්‍යාපෘති දෙක සඳහා ඩොලර් මිලියන 47.76ක ආයෝජනයක් අපේක්ෂා කෙරේ. තවද, අවසර ලැබී ගිවිසුම් අත්සන් කිරීමට බලා සිටින ව්‍යාපෘති පහ සඳහා ඩොලර් මිලියන 526.64ක ආයෝජනයක් පවතී. මෙම සියලු ව්‍යාපෘති හරහා රටේ වෙරළබඩ කලාපය පුරා දැවැන්ත කැනීම් ක්‍රියාවලියක් සඳහා අඩිතාලම සැකසෙන බව මෙම ලිපි ලේඛනවලින් මනාව පැහැදිලි වේ.

ආයෝජන මණ්ඩලය (BOI) වෙත 2023 සිට 2025 දක්වා කාලය තුළ ඉදිරිපත් වී ඇති ඛනිජ වැලි කැනීම් සහ සැකසුම් ව්‍යාපෘති යෝජනා 15 පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ ඒවායේ වත්මන් තත්ත්වය පහත පරිදි විස්තර කළ හැකිය.

මෙහි දැනටමත් ගිවිසුම්ගත වී ඇත්තේ ව්‍යාපෘති දෙකක් පමණි. ඉන් පළමුවැන්න වන ‘Sun Minerals Mannar (Pvt) Ltd’ සමාගම මන්නාරම ප්‍රදේශයේ බීච් සැන්ඩ් කැනීම් සඳහා ඩොලර් මිලියන 20.46ක ආයෝජනයක් සිදුකරන අතර ඔවුන්ගේ ගිවිසුම 2025 පෙබරවාරි 14 දින අත්සන් කර ඇත.

දෙවැන්න වන ‘Fortune Minerals Lanka (Pvt) Ltd’ සමාගම හම්බන්තොට මිරිජ්ජවිල බෝට්ටු තොටුපළ අවහිරතා ඉවත් කිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 27.3ක ආයෝජනයකට ගිවිසුම්ගත වී ඇති අතර, එය කැනීම් ව්‍යාපෘතියක් ලෙස නොසැලකේ. මෙම Fortune ව්‍යාපෘතිය හිටපු භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාලයේ සභාපතිවරයෙකුගේ පසුබිම් සබඳතා සහිත එකක් බවට හඳුනාගෙන ඇත.

ගිවිසුම්ගත වීමට බලා සිටින ව්‍යාපෘති 05ක් සහ අනුමැතිය බලා සිටින ව්‍යාපෘති 08ක් තවමත් ක්‍රියාත්මකව පවතී. ‘Damsila Exports (Pvt) Ltd’ (ඩොලර් මිලියන 81.04) සහ ‘Midwest Heavy Sands (Pvt) Ltd’ (ඩොලර් මිලියන 150) වැනි සමාගම් විශාල ආයෝජනයන් සඳහා ගිවිසුම්ගත වීමට බලා සිටී.

මෙහිදී ‘Damsila Exports’ යනු එක්සත් රාජධානියේ Capital Metals PLC හා සම්බන්ධ වී ඇත. මෙම සමාගම පිළිබද දීර්ඝ විස්තරයක් කල යුතු අතර, ඉදිරියේදි ඒ ගැන කතා කිරිමට බලාපොරොත්තු වේ.

‘Sri Minerals (Pvt) Ltd’ (ඩොලර් මිලියන 179.7) සහ ‘Puttalam Ilmenite Limited’ (ඩොලර් මිලියන 100) ද ගිවිසුම්ගත වීමට බලා සිටින අනෙකුත් ප්‍රධාන ආයෝජන වේ; මෙහි Puttalam Ilmenite සමාගම ලංකා සිමෙන්ති සංස්ථාව සමඟ නඩු කටයුත්තක පැටලී ඇත.

අනුමැතිය ලැබෙනතුරු බලා සිටින සෙසු ව්‍යාපෘති අතරට ‘Sun Minerals Trincomalee’ (ඩොලර් මිලියන 15.6), ‘Trinco Minerals’ (ඩොලර් මිලියන 45), ‘JAT Minerals’ (ඩොලර් මිලියන 38.6), ‘Energy Material’ (ඩොලර් මිලියන 45), ‘Mirmeel Sands’ (ඩොලර් මිලියන 3.65), ‘Seven Hills Resources’ (ඩොලර් මිලියන 145) සහ ‘Sun Minerals Value Addition’ ව්‍යාපෘතිය (ඩොලර් මිලියන 125) අයත් වේ.

මන්නාරම කලාපයේ කැනීම් ඉලක්ක කරගත් ‘Orion Minerals (Pvt) Ltd’ (ඩොලර් මිලියන 81.84) ව්‍යාපෘතිය ද අනුමැතිය බලා සිටින අතර, ඔවුන් චීන මූලාශ්‍රවලින් අරමුදල් ගෙන්වා ගැනීමට අදාළ ඉඩම් අනුමැතිය සඳහා බලා සිටින බව සඳහන් වේ.

ආයෝජන මණ්ඩලය (BOI) වෙත ඉදිරිපත්ව ඇති ව්‍යාපෘති යෝජනා 15ට අදාළව එම සමාගම් කැනීම් හෝ සැකසුම් කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන නිශ්චිත ප්‍රදේශ සහ පිහිටීම් පහත ලැයිස්තුවේ දැක්වේ.

  1. Sun Minerals Mannar (Pvt) Ltd: මන්නාරම, එල්ලූපිල්සිකන්නි සහ මුල්ලිතිඩල් ප්‍රදේශ.
  2. Fortune Minerals Lanka (Pvt) Ltd: හම්බන්තොට, මිරිජ්ජවිල බෝට්ටු තොටුපළ අවහිරතා ඉවත් කිරීමේ කලාපය.
  3. Damsila Exports (Pvt) Ltd: අම්පාර, ඕලුවිල් වරාය සහ ඕලුවිල් නැගෙනහිර වෙරළ තීරය, අක්කරෙයිපත්තුව.
  4. Sun Minerals Hambantota (Pvt) Ltd: හම්බන්තොට, මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය (EPZ).
  5. Sun Minerals Trincomalee (Pvt) Ltd: ත්‍රිකුණාමලය, ඉකල්කුලි, මාතූර්, නවලඩි ගඟ සහ කින්නියා ප්‍රදේශ.
  6. Trinco Minerals (Pvt) Ltd: හම්බන්තොට වෙරළ තීරය.
  7. Midwest Heavy Sands (Pvt) Ltd: ත්‍රිකුණාමලය, තම්පලකාමම් පත්තු, මුත්තූනගර්.
  8. Sri Minerals (Pvt) Ltd: පුත්තලම, කල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් පල්ලිවාසල්පාඩුව සහ කොට්ටන්තීවූ.
  9. Orion Minerals (Pvt) Ltd: මන්නාරම දූපත, කොන්නයන් කුඩියිරිප්පු සහ තොඩ්ඩවේලි ප්‍රදේශ (පෞද්ගලික ඉඩම්).
  10. JAT Minerals (Pvt) Ltd: ත්‍රිකුණාමලය ප්‍රදේශය.
  11. Energy Material (Pvt) Ltd: ත්‍රිකුණාමලය, කුච්චවේලි, තිරිචායි (පෞද්ගලික ඉඩම්).
  12. Mirmeel Sands & Chemicals Lanka (Pvt) Ltd: ත්‍රිකුණාමලය වරාය (SLPA).
  13. Seven Hills Resources (Pvt) Ltd: ත්‍රිකුණාමලය, තම්පලකාමම් පත්තු, මුත්තූනගර් (ලංකා මිනරල් සැන්ඩ්ස් වෙතින් මිලදී ගන්නා වැලි සඳහා).
  14. Puttalam Ilmenite Limited: පුත්තලම, අරුවක්කාලු (සිමෙන්ති සංස්ථාවේ ඉඩම්).
  15. Sun Minerals (Pvt) Ltd (Value Addition Plant): හම්බන්තොට, මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපය (EPZ).

මෙම සමාගම් ගණනාවක පසුබිම පරීක්ෂා කිරීමේදී හිටපු භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාල සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ හිටපු පතල් ඉංජිනේරුවන් වැනි රාජ්‍ය නිලධාරීන්ගේ සෘජු හා වක්‍ර සම්බන්ධතා දැකගත හැක. ඔවුන් මෙම තනතුරුවල සිටියදී බලපත්‍ර ලබා දී, පසුව අදාල සමාගම්වල උපදේශන යනාදි තනතුරු ලබාගෙන තිබේ. එපමණක් නොව හිටපු අමාත්‍ය නසීර් මොහොමඩ්ද විෂයභාර ඇමතිවරයා ලෙස සිට ව්‍යාපාරයට යොමු වී තිබේ.

මේවා ජාතික සම්පත් පෞද්ගලික සහ විදේශීය පාර්ශ්ව වෙත පැවරීමේ සැක සහිත ව්‍යාපෘති බවට විචාරකයින් අනතුරු අඟවයි.

නිදසුනක් ලෙස, ‘Capital Metals’ වැනි සමාගම්වල අභ්‍යන්තර ව්‍යුහයන් සහ කොටස් හිමිකාරීත්වය දෙස බලන විට, මේවා පාරදෘශ්‍ය නොවන, “shell companies” (නාමික සමාගම්) හරහා ක්‍රියාත්මක වන බව පැහැදිලිය. වරෙක ඩොමියුන්ට් (Dormant) තත්ත්වයේ තිබූ සමාගම්, හදිසියේම බලපත්‍ර හිමිකරුවන් ලෙස නැවත සක්‍රීය කිරීමේදී, දේශපාලන අධිකාරියේ මැදිහත්වීම තීව්‍ර ලෙස දක්නට ලැබේ.

භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ බලපත්‍ර සිතියම් දෙස බලන විට, මුළු වෙරළ තීරයම විවිධ සමාගම්වලට අයත් ‘ග්‍රිඩ්’ (Grids) බවට පත් කර ඇති අයුරු දැකගත හැකිය. මේවා ජාතික සම්පත් නොව, තෝරාගත් රැලකට බෙදාදුන් ඉඩම් කොටස්ය.

මෙම සමාගම් ප්‍රචාරණය කරන්නේ තමන් රටට ඩොලර් ගෙනෙන බවයි. නමුත් සත්‍ය තත්වය ඊට වඩා භයානකය.

උදාහරණයක් ලෙස කැපිටල් මෙටල් සමාගමේ මුල් ආයෝජනය ඩොලර් මිලියන 25 ක් පමණක් වන අතර, ඔවුන් ඉන් උපයන ආදායම ඩොලර් බිලියන 1.3 ක් තරම් අතිවිශාලය.

රජයට ලැබෙන ආදායම (Royalties & Taxes) වසරකට ඩොලර් මිලියන 10-20 ක් වැනි සොච්චම් මුදලකි.

මේ වන විට වසර ගණනාවක් පුරා තේ, පොල්, රෙදිපිළි සහ විදේශ ප්‍රේෂණ මගින් ශ්‍රී ලංකාව උපයන ආදායම සමඟ සැසඳීමේදී, මේ ඛනිජ වැලි ව්‍යාපෘති රටට ගෙන එන්නේ සුළු මුදලකි. නමුත් ඒ වෙනුවෙන් විනාශ කරන්නේ රෙදිපිළි අපනයනයෙන් ලැබෙන ආදායමට වඩා වටිනාකමක් ඇති වෙරළ තීරය සහ පරිසර පද්ධතියයි.

මැඩගස්කරය (Rio Tinto/QMM), වියට්නාමය (Bình Thuận), සහ ඉන්දුනීසියාව වැනි රටවල ඛනිජ වැලි කැනීම් හේතුවෙන් සිදු වූ පාරිසරික විනාශය පිළිබඳ ගෝලීය පර්යේෂණ මගින් සනාථ කර ඇත්තේ, මෙම ව්‍යාපෘතිවලින් වෙරළ තීරයේ භූගත ජලය විෂ වීම, ධීවර කර්මාන්තය බිඳ වැටීම සහ වෙරළ ඛාදනය වැනි ආපසු හැරවිය නොහැකි හානි සිදුවන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අහිමි විය හැකි සංචාරක ආදායම, කෘෂිකාර්මික ආදායම සහ අනෙකුත් ආදායම් සලකා බලද්දී මෙම ව්‍යාපෘති රටට අතිශයින් බරපතල ලෙස විනාශකාරි විය හැක. අපේ වෙරළ තීරය යනු මත්ස්‍ය අභිජනන කලාපයයි. ඒ අනුව ධීවර කර්මාන්තයේ ආදායම් විනාශ කොට ජන ජීවිතය පවා අනතුරේ හෙළීමට ඉඩ තිබේ.

මෙම බලපත්‍රවලින් ඉඩ ලැබෙන්නේ අනාගත පරපුරේ ජීවත්වීමේ අයිතිය විනාශ කර, යම් පුද්ගලයින් කීප දෙනෙකුට කෙටි කාලීන ලාභයක් ලැබීමට පමණි.

ජූලි 17 වන දින අමාත්‍යාංශයේ පැවැත්වෙන මෙම “සාකච්ඡාව” යනු රටේ සම්පත් වෙන්දේසි කිරීමේ තීරණාත්මක පියවරකි. මහජනතාවගේ හෝ පරිසරයේ ආරක්ෂාව වෙනුවට, යම් යම් සමාගම්වලට සිය “ව්‍යාපෘති” අනුමත කර ගැනීමට ඇති බාධක ඉවත් කිරීමේ මෙහෙයුමක් බව මෙම ලිපි ලේඛනවලින්ම මනාව පැහැදිලි වේ.

නීතියේ ආධිපත්‍යය, පාරදෘශ්‍යභාවය සහ ජාතික සම්පත් සුරැකීම වෙනුවට, දේශපාලන බලපෑම් සහ අත්තනෝමතික තීරණ මත මෙවැනි දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම, ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම පාරිසරික සහ ආර්ථික ව්‍යසනය වනු ඇත. රටේ අනාගතය තීරණය වන මෙවැනි සාකච්ඡා සම්බන්ධයෙන් ජනතාවගෙ අවධානය දැඩි ලෙස යොමු විය යුතුය.

Author

2 Comments

  • ලියමනේ මාතෘකාවට අදාලව ඇති කරුණු ප්‍රමාණය ඉතා අල්පයි. ඒවාත් මතුපිට උපකල්පන මිස ගැඹුරු සහ ශක්තිමත් කරුණු නොවේ. ලියා ඇති අනෙක් කරුණුත් ආර්ථික සහ දේශපාලනික වශයෙන් ඉතා බොළඳයි. ඒ වගේම ලෝක යථාර්තයෙන් බොහෝ දුරයි. රටේ ආර්ථිකය දුයුණු කරන්නය, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල දමන්නය කියන අතරේ මේ වගේ කතා ලියන එක විහිළු සහගතයි..
    පරිසරයට යම් හානියක් නොවී මිනිස්සුන්ට දැන් ඉන්න තරමේ හෝ ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන්න බැහැ. පරිසරයට හානියක් නොකර ඉන්න නම් වල් වැදිලා සතෙක් වගේ ජීවත් වෙන්න වෙනවා. මිනිස්සුන්ට නූතන ජීවන ප්‍රමිතීන් ලඟා කරගන්න ඕන නම් පරිසරයට හානියක් කරන්න වෙනවා. මෙතැනදී වැදගත්වෙන්නේ අවම පරිසර හානියකින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමයි.
    මේ ව්‍යාපෘති වලදී දුෂණ, වංචා, නාස්ති, සහ පමණ ඉක්මවූ පාරිසරික හානි වෙනවා නම් ඒ ගැන කතාකිරීම විය යුත්තක්. නමුත් මේ වගේ සාම්ප්‍රදායික වමේ දේශපාලනයේ බාල හෑලි වලින් මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැහැ.

  • ඔය යෝජිත ආයෝජන වල අගය එකතු කල ව්‍යාපාර තියෙනවද කියල හොයල කියන්නකො. එතකොට අපි අපේ මතය කියන්නම්. නැතුව නිකම් රටේ සම්පත් විකුණනව කියල චෝදනා එල්ල කරන්න එපා

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading