මෛත්‍රී ගුණරත්න සහරාන්ගේ ලෝයර් බව අප කියා නැත! අප කළේ චාමර සම්පත්ගේ බොරුව හෙළි කිරීමය! ඇත්තම කතාව කියවන්න!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පමා වෙමින් පවතින පසුබිමක, සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර සහ මඩ ගැසීම් ව්‍යාපාර දියත් වෙමින් පවතී.

විශේෂයෙන්ම ප්‍රහාරය එල්ල කළ අන්තවාදී කණ්ඩායමේ නායක සහරාන් හෂීම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා කවුරුන්ද යන්න පිළිබඳව මෑතකදී සමාජ මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති විය. මෙම ආන්දෝලනයට තුඩු දුන් ප්‍රධාන කරුණක් වූයේ, සහරාන් ඇතුළු කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු කළ අසත්‍ය ප්‍රකාශයයි. ඉන් අනතුරුව, එම නීතිඥවරයා වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා බවට ද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යන ලදී.

මෙම තත්ත්වය පැහැදිලි කරමින් සහ සැබෑ කරුණු හෙළිදරව් කරමින් මාධ්‍යවේදී ශාලික විමලසේන විසින් ෆේස්බුක් සටහනක් තබන ලද අතර, ලියුම්කරු ඇතුළු විශාල පිරිසක් විසින් සිය ගිණුම්වල බෙදාගෙන (Share) තිබුණි. එහෙත්, මෙම සටහනේ සැබෑ අරුත වටහා නොගත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, තමන්ට සහරාන්ගේ නීතිඥයා යැයි චෝදනා කළ බව පවසමින් පිළිතුරක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කළේය.

ශාලික විමලසේනගේ හෙළිදරව්ව සහ එහි සැබෑ අන්තර්ගතය

මාධ්‍යවේදී ශාලික විමලසේන විසින් පළ කරන ලද සහ තරිඳු උඩුවරගෙදර ඇතුළු පිරිසක් විසින් බෙදාගන්නා ලද ෆේස්බුක් සටහන පහතින් සම්පූර්ණයෙන්ම උපුටා දක්වා ඇත:

සහරාන්ගේ ‘නම නොකියන නීතිඥවරයා’ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ද ?

2017 මාර්තු 10 කාත්තන්කුඩි, අල්ලියාර් හන්දියේ සිදු වූ ගැටුමෙන් පසු සහරාන් හෂීම්ට වරෙන්තු නිකුත් කෙරිණි. එහෙත් සහරාන් කිසිදු අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් වූ බවක් වාර්තාවල නැත. සහරාන් එතැනින් පන්නද්දී, ඔහුගේ සහෝදරයා ෂයිනි ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වූහ. මේ පිරිස ය, මඩකලපු බන්ධනාගාරයේදී පිල්ලෙයාන් හමුවන්නේ. ඒ අත්අඩංගුවට පත්වූ පිරිසට ඇප ගන්නට ගියේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ය. ජනාධිපති නීතිඥවරයාට එසේ තමන්ට අවශ්‍ය සේවාදායකයකු වෙනුවෙන් විවෘත අධිකරණයේ පෙනීසිටීමට කිසිදු ගැටලුවක් නැත. එය ඔහුගේ අයිතියකි.

ගැටලුව ඇත්තේ දැනට පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් සහරාන් කොළඹ සිට අධිකරණයට ගෙන ගිය බවක්, සහරාන් වෙනුවෙන් පෙනී සිටි බවක් කියන කතාවේ ය. චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා නම නොකියා පාර්ලිමේන්තුවේදී මේ කතාව කිව්වේය. තවත් අය තවත් තැන්වලදී ද, ෆේස්බුක් හි මේ කියන නීතිඥවරයා අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර බව ඡායාරූප සහිතව ද සඳහන් විය. එහෙත්, සහරාන් අධිකරණයට ඉදිරිපත් වූ බවක් මීට අදාළ කිසිදු වාර්තාවක නැත. එසේම, නීතිඥ හර්ෂණ නානායක්කාර සහරාන් කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි බවක් ද කිසිදු වාර්තාවක නැත. මේ ආකාරයට, කිසිදු වාර්තාවක සඳහන් නොවන කරුණු සමාජගත කරමින් සත්‍ය අනාවරණය වීම වැලැක්වීමේ හෝ අවධානය වෙනතක යැවීමේ උත්සාහයන්වලත් ; 2026 පෙබරවාරි 25 සිට 2026 ජුනි 04 තෙක් කිසිදු කලබලයක් නැති තත්ත්වයක් යටතේ සුරේෂ් සලේට අත්අඩංගුවේ සිටීමට සිදුවීමෙන් පසු, ජුනි 04දා ගෝඨාභය රාජපක්ෂ, කර්නල් අන්සාරි, උදලාගම විදෙස් ගමන් තහනමත් සමග හැදූ කලබලයේත් ; ඉලක්කය එකක් ම ය !

ඉහත සටහන ඉතා සියුම්ව කියවා බැලීමේදී පැහැදිලි වන ප්‍රධානතම කරුණක් තිබේ. එනම්, ශාලික විමලසේන මහතා සිය සටහනේ කිසිදු තැනෙක මෛත්‍රී ගුණරත්න මහතා සහරාන්ගේ නීතිඥයා බව ප්‍රකාශ කර නොමැති බවයි. එහි ඉතා පැහැදිලිව සඳහන් වන්නේ සහරාන් ප්‍රදේශයෙන් පලා ගිය බවත්, අත්අඩංගුවට පත්වූයේ ඔහුගේ සහෝදරයා වන ෂයිනි ඇතුළු පිරිසක් බවත්ය.

මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයේ පෙනී සිටියේ එම “අත්අඩංගුවට පත්වූ පිරිස” වෙනුවෙන් බව එහි ඉතා නිරවුල්ව දක්වා ඇත. එපමණක් ද නොව, නීතිඥවරයෙකුට තමන්ට අවශ්‍ය සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඇති නීත්‍යානුකූල අයිතිය ද ශාලික සිය සටහනින් තහවුරු කර ඇත.

මෛත්‍රී ගුණරත්නට වැරදිලා

ශාලික විමලසේනගේ සටහන නිසි පරිදි ග්‍රහණය කරගැනීමට අපොහොසත් වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ජුනි 13 වැනිදා පහත දැක්වෙන සටහන සිය ෆේස්බුක් ගිණුමේ පළ කළේය:

මෛත්‍රී ගුණරත්න වන මම සහරාන් ගේ නීතිඥවරයා ලෙස කටයුතු කර ඇති බව මාධ්‍යවේදීන් යැයි කියාගන්නා තරිඳු උඩුවරගෙදර, ශාලික විමලසේන සහ තවත් කිහිප දෙනෙකු විසින් ප්‍රචාරයක කරමින් ඇත. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. ද්වේෂ සහගත හා නොමඟ යවන සුළු ප්‍රකාශයකි. ඔ්නෑම නීතිඥවරයෙකුට අධිකරණ කාර්යයක දී උසාවියට සහායවීමට හැකියාවක් ඇත. එසේ නමුත්, මම කිසිලෙසකින් හෝ පෙනී නොසිටි සැකකරුවෙකු වෙනුවෙන් උසාවියේ පෙනී සිටියේ යැයි ප්‍රකාශ කිරීම දේශපාලන අවශ්‍යතාව හා මාගේ සිවිල් සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් මා කෙරෙහි ද්වේෂය පැතිරවීමට දරණු ලබන නින්දිත උත්සාහයකි.

තරිඳු උඩුවරගෙදර හා ශාලික විමලසේන විසින් මා වෙත චෝදනාත්මක සිදු කරන ප්‍රකාශය එනම්, මා සහරාන් ගේ නීතිඥවරයා ලෙස පෙනී සිටි බවට වන ප්‍රකාශය ඔප්පු කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි.

ඔවුන් ප්‍රකාශ කරන ලෙස මා සහරාන් වෙනුවෙන් පෙනී සිටි නඩුකරයේ අංකය හා එම නඩුව විභාගයට ගන් උසාවියත හෙළි කිරීමට ඔවුන් පියවර ගනු ඇතැයි මම අපේක්ෂා කරමි. පාස්කු ප්‍රහාරයට බොහෝ කළකට පෙර මා විසින් සහරාන් ද සැකකරුවෙකු කර තිබූ නඩුවක වෙනත් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිට ඇති නමුත් එම සැකකරු කිසි ලෙසකින් හෝ පාස්කු ප්‍රහාරය සිදු කළ ප්‍රමුඛයා වන සහරාන් නොවේ. වෛර සහගත ලෙස සිදු කරන මෙම ප්‍රකාශවලින් මාගේ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය කිසි ලෙසකින් හෝ නැවැත්විය නොහැකි බව අවධාරණය කරමි.

නොකී දෙයක් ඇත්ත කියා ඔප්පු කළ නොහැක. ඔප්පු කළ හැක්කේ කීව දේ ඇත්ත බවය. එම නිසා අපි කීව දේ කුමක්දැයි නිශ්චිතව බලමු.

ඊට පෙර අප කීව දේ ඇත්ත බව මෛත්‍රී ගුණරත්න මහතාද සිය සටහනේ සිව්වන ඡේදයෙන් පිළිගෙන ඇති බව පෙන්වා දෙමු. “සහරාන් ද සැකකරුවෙකු කර තිබූ නඩුවක වෙනත් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිට ඇති නමුත්…” යනුවෙන් ඔහු කියා ඇත.

MediaLK හෙළිදරව්ව

මෙම සමස්ත සිදුවීම් මාලාවේ නෛතික සහ සත්‍ය පසුබිම ඉතා මැනවින් පැහැදිලි කළේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසිනි. ඔහු සිය MediaLK යූටියුබ් නාලිකාව ඔස්සේ “සහරාන් සැකකරුවෙකු වූ නඩුවට උසාවි ගියේ මෛත්‍රී” යන තේමාව යටතේ ( https://www.youtube.com/watch?v=cJvp_83Vocs ) වීඩියෝවක් කරමින් අධිකරණ වාර්තා සහිතව කරුණු ගෙනහැර දැක්වීය.

අලියාර් හන්දියේ ගැටුම (B 276/17 නඩුව)

2017 මාර්තු මස 10 වන දින කාත්තන්කුඩියේ අලියාර් හන්දියේදී රවුෆ් මවුලවිගේ කණ්ඩායම සහ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය අතර දරුණු ගැටුමක් ඇති විය.

මේ සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ B 276/17 යන නඩු අංකය යටතේය. පොලිස් වාර්තාවලට අනුව, සමීම් යන අයගේ නිවස අසල රවුෆ් මවුලවිගේ කණ්ඩායම රැස්වීමක් පවත්වමින් සිටියදී, පෙට්‍රල් බෝම්බ, කඩු සහ යකඩ පොලු සහිතව පැමිණි සහරාන් මවුලවි ඇතුළු 50 දෙනෙකුට වැඩි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරයෙන් පසු සහරාන් ඇතුළු ප්‍රධාන සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් සැඟවුණු අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරුණි. සහරාන්ව කිසිදු අවස්ථාවක මෙම නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ නැත.

මෙම නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව සිටි සහරාන්ගේ කණ්ඩායමේ සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයකි. ඔහු සමඟ නීතිඥ රයිසාන් සහ නීතිඥ රිස්වි යන මහත්වරුන් ද පෙනී සිට ඇත.

2017 අප්‍රේල් 7 වැනිදා මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් කළ කරුණු පිළිබද තරිදු ජයවර්ධන පැහැදිලි කරයි.

2017 අප්‍රේල් මාසේ 7 වෙනිදා මේ ඇප ඉල්ලීම කරන්නේ. මේ නඩුව ඇත්තටම කැඳවනවා මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා ඉදිරියේදී එදා නඩුවේ පෙනී සිටීම මාර්ක් කරනවා. ප්‍රොසීඩින්ස් වල තියෙන විදියට “එකේ සිට අට දක්වා සැකකරුවන් පෙනී සිටිති” කියලා තමයි ප්‍රොසීඩින්ස් වල තියෙන්නේ.

“සැකකරුවන් වෙනුවෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සමග නීතිඥ රයිසාන් සහ නීතිඥ රිස්වි යන මහත්වරුන් පෙනී සිටිති.” කියලා නඩු වාර්තාවේ තිබුණා.

මේ නඩුව කැඳවපු අවස්ථාවේදී සැකකරුවන්ගේ පාර්ශ්වය, සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී ඉඳලා කරුණු දැක්වීමක් කරනවා. ඒ කරුණු දැක්වීම මම කෙටියෙන් කියන්නම් කාරණු. ඔහු කියනවා “මේ සැකකරුවන් නීත්‍යානුකූල රැස්වීමක් පැවැත්වීමට සූදානම් කරලා තිබුණේ. ඒ රැස්වීම පවත්වන්න කාත්තන්කුඩි නගර සභාවෙන් අවසර අරගෙන තිබුණා. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්න පොලිසියෙන් අවසර අරගෙන තිබුණා. සාමාන්‍යයෙන් ශබ්ද විකාශන අවසර සමග රැස්වීමක් පැවැත්වීම සඳහා පූර්ව ආරක්ෂක අවසරයද පොලිසියෙන් ලබාගෙන තිබුණා. එහෙම වුණත් රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී පොලිසිය එම ස්ථානයට පැමිණ හිටියේ නෑ.” කියලා.

“පොලිසිය අදාල ස්ථානයට පැමිණ සිටීම ඔවුන්ගේ වගකීමක් වුණත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් නොසැලකිලිමත් විදිහට කටයුතු කරලා තියෙනවා. මේ හේතුව නිසා රැස්වීම පවත්වන්න එපා යැයි පවසමින් පිරිසක් එහි පැමිණ සාමයට බාධා කිරීමේ අදහසින් රැස්වීමට පවත්වන්න ඉඩ නොදී එහි සිටි පුද්ගලයන්ට පහර දුන්නා. එම අවස්ථාවේ රැස්වීමේ සිටි පිරිස ද ඔවුන් සමග ගැටුමකට මැදි වුණා.” කියලාත් ඔහු කියා තිබුණා.

මෛත්‍රී කාට පෙනී හිටියත් කමක් නෑ

තරිඳු ජයවර්ධනගේ වීඩියෝවෙන් ද, ශාලික විමලසේනගේ සටහනින් ද ඉතා පැහැදිලිව අවධාරණය කරන ඉතා වැදගත් නෛතික මූලධර්මයක් තිබේ.

එනම්, ඕනෑම නීතිඥවරයෙකුට ඕනෑම සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීත්‍යානුකූල සහ වෘත්තීය අයිතියක් ඇති බවයි. මෛත්‍රී ගුණරත්න මහතා සහරාන්ගේ සහෝදරයා හෝ ඔහුගේ කණ්ඩායමේ වෙනත් ඕනෑම ත්‍රස්තවාදී සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම කිසිසේත්ම අපරාධයක් හෝ නීති විරෝධී ක්‍රියාවක් නොවේ.

එය නීතිඥවරයෙකුගේ රාජකාරියයි. ඔහු තමන්ගේ සේවාදායකයාගේ පැත්තෙන් කරුණු දැක්වීම හෝ ඔහුව සාධාරණීකරණය කරමින් ඇප ඉල්ලා සිටීම වෘත්තීය ස්වභාවයයි. මේ සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න මහතාට කිසිවෙකුට චෝදනා කළ නොහැක.

ඇත්තටම වුණ දේ

ඇත්තටම සිදු වුණේ මෙයයි. මේ වෙද්දී ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් පොදුවේ එකතු වූ පෙරමුණක් පවතී. එහි පොහොට්ටුව, එජාපය, සජබය, ශ්‍රීලනිපය පමණක් නොව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයත් එක වේදිකාවක සිටී. මෑත කාලයේ එම රැස්වීම්වල එකම වේදිකාවේ චම්පිකලා, චාමර සම්පත්ලා මෙන්ම මෛත්‍රී ගුණරත්නලාත් කතා කර ඇත. මේ අය එක පෙරමුණකි.

පහුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මෛත්‍රීලාගේ පිළේ චාමර සම්පත් නම් මන්ත්‍රීවරයා මෙසේ කීය.

“සහරාන් කොළඹින් අහුවෙච්ච වෙලාවේ සයින්දුමරුදුවලට කවුද ගෙනිච්චේ? කවුද ගෙනිච්ච නීතිඥයා? ඒ නීතිඥයා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.”

චාමර සම්පත් මෙසේ කීවත්, සහරාන්ව එලෙස වරෙන්තුවකට අත්අඩංගුවට ගත් බවක් හෝ අදාළ නීතිඥයෙකු අධිකරණයට ඉදිරිපත් වූ බවක් කිසිදු අවස්ථාවක වාර්තා වී නැත. සහරාන්ට වරෙන්තු කළේ අල්ලියාර් හන්දියේ ගැටුමේදීය.

මේ කතාව මත පදනම් වී සමාජ මාධ්‍යවල හර්ෂණ නානායක්කාර සහරාන්ගේ නීතිඥයා බවට ව්‍යාජ ප්‍රකාශ හුවමාරු විය. තවත් තැන්වල උපුල් කුමරප්පෙරුමගේ නමත් සහරාන්ගේ නීතිඥයා ලෙස කියැවිනි. තරිදුත්, ශාලිකත් උත්තර දුන්නේ චාමරලාගේම වේදිකාවේ මෛත්‍රී ගුණරත්න සහරාන් සැකකරුවෙකු ලෙස සිටි නඩුවක පෙනි සිටි බවය. ඇත්තටම එසේ පෙනී සිට සහරාන්ලා රැස්වීම කළේ නිත්‍යානුකූලව කියා කරුණු දැක්වීමකුත් මෛත්‍රී ගුණරත්න කියා ඇත.

දැන් මෛත්‍රී ගුණරත්න චාමර සම්පත්ට කියා දිය යුත්තේ ‘ඕනෑම නීතිඥවරයෙකුට අධිකරණ කාර්යයක දී උසාවියට සහායවීමට හැකියාවක් ඇත.‘ කියාය. චාමර සම්පත්ට නීතිඥවරුන්ගේ පෙනී සිටීම් ප්‍රශ්නයක් නම්, දැන් පාර්ලිමේන්තුවේදී ඔහු දාපු සද්දය ඒකාබද්ධ විපක්ෂයේ ඊළග මීටිමේ මෛත්‍රී ගුණරත්නටත් දැමිය හැක.

මේක ඒ ඒ අය විසදාගත යුතු ප්‍රශ්නයකි.

පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් සහ ඊට අනුබල දුන් බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ විමර්ශන යටපත් කිරීම සඳහා සමාජ මාධ්‍ය හරහා ක්‍රමානුකූල මෙහෙයුමක් දියත් වෙමින් පවතී. විශේෂයෙන්ම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඇතුළු පිරිසක් වටා ගෙතී ඇති චෝදනා සහ අත්අඩංගුවට ගැනීම් වලින් සමාජයේ අවධානය වෙනතක හැරවීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙහි ඇතැම් කරුණු සත්‍ය සිදුවීම් මත ගොඩනැගූ සාවද්‍ය අර්ථකතන වේ. එක්කෝ ඇත්තට බොරුව මුහු කළ ඒවාවේ. තවත් ඒවා අමුම අමු බොරුය. සලේගේ පස්සට බට බැස්සුවා වාගේම බොරු වේ.

හර්ෂණ නානායක්කාරට ඕනෑ කෙනෙක් අපහාස කළාට අපට කමක් නැත. ඒවා හර්ෂණ නානායක්කාර තමන්ගේ මට්ටමෙන් බේරාගත යුතුය. අප මෙතැන ප්‍රතිචාර දක්වන්නේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශණ අඩපණ කිරීමේ පටු අරමුණ ඇතිව පතුරවන බොරුවලට පමණි.

සහරාන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිටි බවත්, ඔහු පාර්ලිමේන්තුවේ සිටින හර්ෂණ නානායක්කාර බවත් පවසමින් ව්‍යාජ කතා නිර්මාණය කරන්නේ හර්ෂණ එක්ක පුද්ගලික තරහකට නම් අපට ප්‍රශ්නයක් නැත. අපේ ප්‍රශ්නය මේවා කරන්නේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන නොමග යැවීමට වීමය.

අවසාන වශයෙන් කිව යුත්තේ, මාධ්‍යවේදීන් වන තරිඳු ජයවර්ධන සහ ශාලික විමලසේන සිදුකර ඇත්තේ කිසිවෙකුට මඩ ගැසීමක් නොව, ව්‍යාජ පුවත් මඟින් සමාජය නොමඟ යැවීම වැළැක්වීම සඳහා නඩු වාර්තා සහිතව සත්‍ය කරුණු හෙළිදරව් කිරීමක් පමණි.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එහිදී අනවශ්‍ය කලබලයක් ඇතිකර ගනිමින් තමන්ට එල්ල නොවූ චෝදනාවකට පිළිතුරු දීමට යාමෙන් සිදුවූයේ, 2017 දී ඔහු සහරාන් කණ්ඩායමේ වෙනත් සැකකරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටීමේ සැබෑ කතාව සමාජය හමුවේ තවදුරටත් පුළුල් ලෙස නිරාවරණය වීම පමණි. චාමරගේ බොරුව තවත් හෙළි වීම පමණි.

නීතිඥයෙකු ලෙස සිය රාජකාරිය කිරීම ගැන ඔහු කලබල විය යුතු නැති අතර, පාස්කු යුක්තිය සොයන ජනතාව ද මෙවැනි අතුරු කතා මඟින් සිය ප්‍රධාන ඉලක්කයෙන් බැහැර නොවිය යුතුය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading