දිලිතුත් අධිකරණයට අපහාස කරලා! සලේලාගේ අලුත්ම අධිකරණ අපහාස ගේම!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අධිකරණය විසින් පත් කරන ලද ස්වාධීන වෛද්‍ය මණ්ඩලය ජේවීපී පස්දෙනෙකු බව කියමින් එම මණ්ඩලයට අපහාස කිරීමට කෙළින්ම රාජපක්ෂවාදීන් පටන් ගත්තේ ජුනි 11 වැනිදාය.

මේ වන විට සර්වජන බලයේ නායක දිලිත් ජයවීරද අධිකරණයට අපහාස කර ඇත.

ජුනි 11 වැනිිදා ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු අධිකරණ නියෝගය ‘බාල වැඩක්‘ ලෙස අර්ථකතනය කර ඇත.

‘පැහැදිලි වෛද්‍ය වාර්තාවක් තියෙනවා.‘ යනුවෙන් දිලිත් ජයවීර එම වැඩසටහනේදී කී අවස්ථාවේ නිවේදකයා කියා තිබුණේ මේ වෙද්දී තවත් වෛද්‍ය කමිටුවක් පත් කර ඇති බවයි.

‘අන්න ඒක තමයි මේ බාල වැඩ කියලා. වෛද්‍යවරයෙක් වෛද්‍ය වාර්තාවක් දුන්නට පස්සේ තවත් වෛද්‍ය කමිටුවකින් අර වෛද්‍යවරයා බොරු කිව්වා කියලාද කියන්න හදන්නේ.‘

එවිට නිවේදකයා කියා ඇත්තේ මෙය මහේස්ත්‍රාත්ගේ නියෝගයක් බවයි.

‘ඒක තමයි මම කියන්නේ. දැන් මම දන්න තරමින් මහේස්ත්‍රාත්වරයාට යෝජනා කරනවා. මහේස්ත්‍රාත්වරයා පත් කරනවා. දැන් මම දැක්කා සමාජ මාධ්‍යවලින් බරපතල විදියට ඒ කමිටුවේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරලා තියෙනවා. අපට ගරු අධිකරනය ගැන විශාල ගෞරවයක් මතුවෙනවා.‘

ඔහු එයින් පසු අධිකරණයට ගරු කරන බව කියන්නට උත්සාහ කළත් ඍජුවම මහේස්ත්‍රාත්වරයා පත් කළ කමිටුවට මඩ ගසා ඇත. දිලිත් ජයවීර නොදන්නවා වුවද, දැනටමත් ඉතා පැහැදිලිව සුරේෂ් සලේට වධහිංසාවක් වූ බව ඔප්පු කිරීමට අධිකරණය හමුවේ කරුණු නැතැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

සලේට විශාදය, ආතතිය සහ පීටීඑස්ඩී ඇති බව වෛද්‍යවරුන් හරහා කෙසේ හෝ වාර්තාවක් ලබා ගැනීම සදහා මෙම වෛද්‍ය මණ්ඩලයට බලපෑම් කිරීමට මෙන්ම අධිකරනයට බලපෑම් කිරීම මේ මඩ ප්‍රහාරවල අරමුණ විය.

එහෙත්, ඒ මඩ ගැසීම්වල නිරත වූ මහින්ද පතිරණ නම් වූ පොහොට්ටු හිතවාදී කථිකාචාර්යවරයා දැන් සමාව ඉල්ලා ඇත.

ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ අධිකරණමය බලයක් පවා තිබෙන පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින්ම ප්‍රසිද්ධියේ දේශපාලන පක්ෂපාතීත්වයක් පෙන්නුම් කළ මහින්ද පතිරණ විසින් අදාළ වෛද්‍ය මණ්ඩලයේ ස්වාධීනත්වය ගැන නින්දිත ලෙස මඩ ගැසීය. මේ සටහන එහි පසුබිම පැහැදිලි කිරීමටයි.

බියගුලු සමාව ගැනීම

මහින්ද පතිරණ විසින් අදාළ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය “JVP සෙට් එකක්” ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත අසත්‍ය ප්‍රචාරයක් දියත් කළේය. දිලිත් කියනවා ඇත්තේත් ඒ අපහාස ගැනය.

ඔහු විසින් වෛද්‍ය චිත්තහාරි අබේනායක මහත්මියගේ බව කියමින් වසර හතරකට වඩා පැරණි සමාජ මාධ්‍ය සටහනක තිර ඡායාරූපයක් (Screenshot) භාවිතා කරමින් සමස්ත වෛද්‍ය මණ්ඩලයේම ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ කළේය.

එහෙත්, ජුනි මස 11 වන දින ඔහුට තමාගේම වචන ගිලගනිමින් නින්දිත ලෙස සමාව ගැනීමට සිදුවිය. ඔහු ප්‍රකාශ කළේ තමාට “වැරදි තොරතුරු” ලැබුණු බවත්, ඒ හේතුවෙන් අධිකරණයට හෝ කිසිවෙකුට අපහාසයක් වූයේ නම් සමාව අයදින බවත්ය.

හඬපටය ඉතා පැහැදිලිව පෙන්වා දෙන පරිදි, මෙම සමාව ගැනීම පිටුපස ඇත්තේ සැබෑ පසුතැවීමක් නොව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් (Contempt of Court) ගැලවීමේ උපක්‍රමයකි. මෙය හුදෙක් එක පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නොව, තමන්ට අවශ්‍ය දේ අධිකරණයෙන් ඉටු නොවන විට සමාජ මාධ්‍ය හරහා විනිසුරුවරුන්ට සහ වෘත්තිකයන්ට තර්ජනය කිරීමේ සහ මඩ ගැසීමේ පුළුල් දේශපාලන සංස්කෘතියක එක් ප්‍රතිඵලයක් පමණි.

අධිකරණය අපහාස නීතියට ඇති බිය නිසා මේ බොරුව ගැන සමාව ඉල්ලුවාට, කෙතරම් බොරු මේ අය කියා තිබෙනවාද යන්න වෙනම කතාවකි.

දෙබිඩි විවේචන

මහින්ද පතිරණ ඇතුළු දේශපාලන කඳවුර අධිකරණය විසින් පත් කළ ස්වාධීන වෛද්‍ය මණ්ඩලයකට මෙතරම් පහර දෙන්නේ ඇයි?

ඒ, එම කමිටුවේ සිටින්නේ “ඔවුන්ගේ ජාතියේ” එනම් ඔවුන්ගේ දේශපාලන මතවාදයට ගැතිකම් කරන වෛද්‍යවරුන් නොවන බැවිනි.

මේ වෛද්‍යවරුන් පස්දෙනා අතරින් දෙදෙනෙක් පත් කර ඇත්තේ ඔවුන් ලංකාවේ සිටින විශේෂඥ වෝහාරික අධිකරණ වෛද්‍යවරුන් තුන්දෙනාගෙන් දෙදෙනෙකු වන නිසාය. කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස් එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරන්නේත් ඒ පදනමෙනි. විශේෂඥ වෝහාරික අධිකරණ මනෝ වෛද්‍ය චිත්තාහරි අබේනායක පත් කර ඇත්තේත් ඒ පදනමෙනි.

ඊට අමතරව විශේෂඥ මනෝ වෛද්‍ය දසන්ති අක්මීමන පත් කර ඇත්තේ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපතිනිය ලෙසයි. මීට අමතරව විශ්වවිද්‍යාල දෙකක් නියෝජනය කරමින් දුලයිකා අමරසිංහ වාස් සහ වජිර ධර්මවර්ධන යන විශේෂඥ වෛද්‍යවරුන් පත් කරන ලදී. මේ පත්වීම් පහම ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයන් නොසලකා ඔවුන් නියෝජනය කරන තනතුරු මත පත් කර ඇත.

ලංකාවේ සිටින වෝහාරික අධිකරණ විශේෂඥ මනෝ වෛද්‍යවරුන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් මේ කමිටුවට පත් කර ඇත්තේ, එම මට්ටමේ සිටින අනෙක් පුද්ගලයා මීට පෙර වාර්තාවක් ලබා දී ඇති නිසාය. අනෙක් පුද්ගලයා විශේෂඥ වෛද්‍ය සීටීකේ ප්‍රනාන්දුය.

පත් කළ වෛද්‍යවරුන් පස්දෙනාගෙන් කිසිකෙනෙකු දේශපාලන වේදිකාවකට ගොඩ වී ඇති බවට හෝ, දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන ඇති බවට කිසිම සාක්ෂියක් ඔවුන් ඉදිරිපත් කර නැත.

ඔවුන්ගේ මෙම දෙබිඩි පිළිවෙත මනාව ඔප්පු වන්නේ, ඔවුන් නියෝජනය කරන දේශපාලන කඳවුරට වාසිදායක ලෙස කටයුතු කර ඇති වෛද්‍ය සී.ටී.කේ. ප්‍රනාන්දු (තාරක ප්‍රනාන්දු) මහතා සම්බන්ධයෙන් ඔවුන් දක්වන නිහඬතාවයෙනි.

වෛද්‍ය තාරක ප්‍රනාන්දු යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය සමයේ කාබනික පොහොර ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමට පවා පෙනී සිටි බවට තොරතුරු ඇත. ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කණ්ඩායම නියෝජනය කළ අයෙකි.

ඔහුගේ දේශපාලන සබඳතා පසෙක තැබුවද, ඔහුට එරෙහිව මේ වන විට එල්ල වී ඇති වෘත්තීය විෂමාචාර සහ දූෂණ චෝදනා පවතී. මේ කිසිවක් අප මීට පෙර මතු නොකළේ, ඔහු විසින් සුරේෂ් සලේ පිළිබද ලබා දී ඇති වෛද්‍ය වාර්තාව අධිකරණය ඉදිරියේ විශ්ලේෂණයට ලක් වෙමින් තිබුණු බැවිනි. දැන් මේ ගැන හෙළිදරව් කිරීමට සිදුව ඇත්තේ දැන් වෛදයවරුන් පස්දෙනෙකුට සලේගේ පැත්තෙන් පහරදෙන නිසාය.

වෛද්‍ය තාරක ප්‍රනාන්දුට මුදල් ලබා ගැනීමේ චෝදනාත් එල්ල වී ඇත. මේවා දැනට චෝදනා පමණි. ඔහු වරදක් කර ඇති නම් එය ඔප්පු විය යුතුය. කෙසේවෙතත්, ගම්පහ මහාධිකරණ නඩුවක (HC 237/21) සැකකරුගේ බිරිඳගෙන් මුදල් ඉල්ලීමේ හඬපට සාක්ෂි, කඩුවෙල නඩුවකදී (54600/22) රුපියල් 65,000ක් ඉල්ලීම සහ දෙයියන්දර නඩුවකදී (BR 223/22) රුපියල් 175,000ක් ලබා ගැනීම ගැන චෝදනා දැනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත.

මනෝජ් ප්‍රසංග නැමැති සැකකරුට PTSD රෝග ලක්ෂණ ඇති බව පෙන්වීමට, වෛද්‍ය ප්‍රනාන්දු විසින් ICD-10 නම් වූ අත්පොතෙහි සදහන් වෙවන ලක්ෂණ සිංහලෙන් කියවා දෙමින්, එම තත්වය තිබෙන රෝගියෙකු ලෙස හැසිරීමට පුහුණු කර ඇති බව වෛද්‍යවරුන්ගේ සාක්ෂි සහිතව පැමිණිල්ලට ඉදිරිපත් කර ඇත. එසේම, වෛද්‍යවරියකට බලපෑම් කර අදාළ රෝගියාගේ ඇඳ ඉහපතෙහි (BHT අංක 4257/22) පිටුවක් ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවටත් චෝදනා එල්ල වී ඇත.

මේවා චෝදනාය. එහෙත්, මහින්ද පතිරණලාට නොපෙනෙන චෝදනාය. දැන් අර වෛද්‍යවරුන් පස්දෙනාගෙන් එක් අයෙකු ගැන හෝ මෙවැනි චෝදනා තිබේනම් ඉදිරිපත් කිරීම පතිරණලාගේ වැඩකි. වෛද්‍යවරුන්ගේ ස්වාධීනත්වය බැලිය යුත්තේ අවුරුදු ගණන් පරණ ෆේස්බුක් ස්ක්‍රීන්ෂොට්වලින් නොවේ. නිශ්චිත කරුණු මත පදනම්වය එවැනි චෝදනාවක් කරනවා නම් කළ යුත්තේ. අප මේ පතිරණලාට උගන්වන්නේ ඒ අයුරින් චෝදනාවක් එල්ල කරන ආකාරයයි.

එහෙත්, වඩාත් කුප්‍රකට කාරණය වන්නේ වෛද්‍ය තාරක ප්‍රනාන්දු විසින් කෙහෙළිය රඹුක්වැල්ලට අදාල හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නඩුවේදී (B42158/2023) කටයුතු කර ඇති ආකාරයයි.

මෙම ප්‍රසිද්ධ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වන වෛද්‍ය කපිල වික්‍රමනායක යනු වෛද්‍ය ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස සිටියදී සමීපතමයෙකි. ඔහුට සහ හේවගේ සුගත් ජානක යන අයට වෛද්‍ය ප්‍රනාන්දු විසින් ලබා දුන් ගැටලු සහගත වාර්තා හේතුවෙන්, අධිකරණයට ඔහු ඇතුළත් නොවන නව වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට පවා සිදුවිය. විශේෂයෙන් සුගත් ජානකව දීර්ඝ කාලයක් බන්ධනාගාරයෙන් පිට අංගොඩ රෝහලේ රැදී සිටිය හැකි ආකාරයට වෛද්‍ය වාර්තා ලබා දී තිබුණි.

මෙවැනි බරපතළ චෝදනා ඇති වෛද්‍යවරයෙකුගේ වාර්තා හිස් මුදුනින් පිළිගත් මහින්ද පතිරණලා, අද අධිකරණයෙන් පත් කළ ස්වාධීන වෛද්‍ය මණ්ඩලයකට පහර දීම හාස්‍යජනකය. මේ වෛද්‍යවරයා ගැන දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේත් විමර්ශනයක් පවතී.

ඇත්තටම අප වෛද්‍ය වාර්තා ලබාදීම ගැන පුළුල් සාකච්ඡාවක් මතු කළ යුතුය.

වෛද්‍ය ෂාෆි නඩුව සහ HSG පරීක්ෂණ

වෛද්‍ය තාරක ප්‍රනාන්දුගේ දේශපාලනික හැසිරීමේ ගැටලු සහගතම අවස්ථාව ලෙස හඬපටයේ පෙන්වා දෙන්නේ කුරුණෑගල වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතාට එරෙහිව එල්ල වූ වඳ සැත්කම් චෝදනාවේදී ඔහු කටයුතු කළ ආකාරයයි.

මෙම නඩුවේදී සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මව්වරුන්ට HSG (Hysterosalpingography) පරීක්ෂණය සිදු කරන ලෙස අධිකරණය නියෝග කළේය.

HSG පරීක්ෂණය යනු කාන්තාවන්ගේ ගර්භාෂය සහ පැලෝපීය නාල (Fallopian tubes) පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන විශේෂ X-කිරණ පරීක්ෂණයකි. මෙහිදී යෝනි මාර්ගය හරහා ගර්භාෂයට විශේෂ වර්ණකයක් (Contrast dye) ඇතුළු කර X-කිරණ ඡායාරූප ලබා ගනී. පැලෝපීය නාල අවහිර වී ඇත්නම් (වඳ සැත්කමකදී මෙන්), මෙම වර්ණකය නාල හරහා ගමන් නොකරන බව පැහැදිලිවම ඡායාරූපයෙන් දැකගත හැක. මෙය වඳ සැත්කම් චෝදනාව විද්‍යාත්මකව ඔප්පු කිරීමට හෝ නිෂ්ප්‍රභ කිරීමට ඇති නිවැරදිම ක්‍රමයයි.

වෛද්‍ය ෂාෆි විසින් වඳ සැත්කම් කර නොමැති බව මෙම පරීක්ෂණය හරහා විද්‍යාත්මකව ඔප්පු වීමේ දැඩි අවදානමක් (සහ යථාර්ථයක්) තිබූ බැවින්, වෛද්‍ය තාරක ප්‍රනාන්දු ඇතුළු පිරිස මාධ්‍ය හමු පවත්වමින් සමාජය තුළ දැඩි භීතිකාවක් නිර්මාණය කළහ.

මෙම පරීක්ෂණයෙන් මව්වරුන්ට මාරාන්තික සංකූලතා ඇතිවිය හැකි බව පවසමින් පිරිසක් ජනතාව මුලාවට ලක් කළේය. වෛද්‍ය තාරක ප්‍රනාන්දු කීවේ වින්දිත මව්වරුන් මේ පරීක්ෂණය කළොත් තවත් වින්දිත විය හැකි බවයි.

වෛද්‍යවරයෙකු ලෙස තම වෘත්තීය දැනුම යොදාගෙන, අහිංසක මව්වරුන් බියගන්වා, අධිකරණයේ සත්‍යය සෙවීමේ ක්‍රියාවලියට බාධා කිරීම කෙතරම් බරපතළ වෘත්තීය විෂමාචාරයක්ද යන්න මින් පැහැදිලි වේ. විශේෂයෙන් එදා අම්මලාට එම පරීක්ෂණය කළා නම් සාෆිට එල්ල වූ චෝදනා බොරු බව එදාම ඔප්පු වන්නට තිබුණි. එසේ වුණා නම් රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපාරය දුර්වල වීමට ඉඩ තිබුනි. එදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතාම පහත් ලෙස වෛද්‍ය විද්‍යාව අවභාවිත කරමින් සමාජය නොමග යැවීය. සත්‍ය යටගැසීය.

සුරේෂ් සලේගේ නීතිඥයන්ට හෝ මහින්ද පතිරණලාට අදාළ වෛද්‍ය මණ්ඩලය පිළිබඳව නීත්‍යානුකූල ගැටලුවක් තිබේ නම්, ඔවුන් කළ යුත්තේ ඒ බව අධිකරණයට දැනුම් දී, නීත්‍යානුකූලව ඊට එරෙහිව කටයුතු කිරීමයි.

එහෙත් ඔවුන් කරන්නේ කුමක්ද? තමන්ට වාසිදායක තීන්දුවක් නොලැබෙන බව දන්නා විට, නීතියට මුහුණ දෙනවා වෙනුවට පිටතින් සිට ෆේස්බුක් ඔස්සේ මඩ ගසමින් අධිකරණයට සහ නිලධාරීන්ට මානසික බලපෑම් (Mental Pressure) එල්ල කිරීමයි.

මෙය වෛද්‍ය මණ්ඩලය පමණක් නොව මේ නඩුවේ මුල සිටම කළ ක්‍රියාවකි.

මහින්ද පතිරණගේ සමාව ගැනීම යනු ඔවුන්ගේ මෙම සමාජ මාධ්‍ය ත්‍රස්තවාදය එක් අවස්ථාවකදී පසුබෑමකට ලක්වීමක් පමණි.

අවසානයේ වැදගත් යමක් කිව යුතුය. සමාජය ගැන ප්‍රගතිශීලී අදහස් දැක්වීම කිසිදු වෘත්තිකයෙකුව හෑල්ලු කිරීමට හේතුවක් නොවිය යුතුය. එලෙස ඉදිරියට පැමිණ අදහස් දැක්වීමට වෘත්තිකයන්ව දිරිමත් කළ යුතුය. අද මහාචාර්ය ඉන්දික කරුණාතිලක වැනි වෘත්තිකයන්ට අප ගරු කරන්නේ ඔවුන් අවශ්‍ය අවස්ථාවලදි සමාජ යහපත වෙනුවෙන් ඉදිරිපත් වන නිසාය.

සමාජයක බුද්ධිමතුන් සහ වෘත්තිකයන් සතු සැබෑ වගකීම වන්නේ හුදෙක් තම වෘත්තීය රාමුවට පමණක් කොටු වී නිහඬව සිටීම නොව, සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් විද්‍යාත්මක සහ ප්‍රගතිශීලී කියවීමක් සහිතව පෙනී සිටීමයි. දැන් එවැනි වෘත්තිකයන්ගේ හිගයක් පවතී.

අතීතයේදී මහාචාර්ය සේනක බිබිලේ, වෛද්‍ය කාලෝ ෆොන්සේකා වැනි බුද්ධිමතුන් මෙන්ම, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය වැනි ක්‍රියාධරයන් සමාජය උදෙසා කළ මැදිහත්වීම් මීට කදිම නිදසුන් සපයයි. ඔවුන් සිය බුද්ධිය මෙහෙයවූයේ මුදල් ඉපැයීමට පමණක් නොවේ, ඔවුන් සමාජය ගැන ප්‍රගතිශීලී මැදිහත්වීම් කර ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කාලෝ ෆොන්සේකා මහතා, ගිනි පෑගීම වැනි අන්ධ විශ්වාසයන් භෞතිකව සහ විද්‍යාත්මකව බිඳ හෙළමින් සමාජගත වී තිබූ මිත්‍යාවට එරෙහිව දැවැන්ත සටනක නිරත විය. එසේ වූ නිසා ඔහුව පක්ෂයකට ලේබල් කොට ඔහුව හෑල්ලු කළේ නැත. ඔහු වෛද්‍ය සභාවේ සභාපති ලෙසත් පත් විය.

යම් වෘත්තිකයෙකු හෝ බුද්ධිමතෙකු ලෝකය, සමාජය සහ දේශපාලනය පිළිබඳව මෙලෙස විවෘත සහ ප්‍රගතිශීලී අදහස් දැක්වූ පමණින්, එය කිසිසේත්ම කිසියම් පටු දේශපාලන පක්ෂයකට ගැතිකම් කිරීමක් ලෙස අර්ථ දැක්විය නොහැක. අයින්ස්ටයින් කෙතරම් ප්‍රගතිශීලී ලෙස දේශපාලනය ගැන කතා කර තිබේද?

අවාසනාවකට අද වන විට මහින්ද පතිරණලා, ජී.එල්. පීරිස්ලා වැනි චරිත තම අධ්‍යාපනය සහ තනතුරු භාවිතා කරන්නේ සමාජය දැනුවත් කිරීමට නොව, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව වපුරමින් තම ස්වාමිවරුන් ආරක්ෂා කිරීමටයි.

අද දවසේ සමාජයට අත්‍යවශ්‍ය වන්නේ මෙවැනි පටු දේශපාලනික අතකොළු බවට පත් වූවන් වෙනුවට, සත්‍යය, තර්කනය සහ විද්‍යාත්මක චින්තනය පෙරදැරි කරගනිමින් නිර්භීතව සමාජ සහ දේශපාලන අදහස් ප්‍රකාශ කරන, මිත්‍යාවට එරෙහිව සටන් වදින බුද්ධිමතුන් පරපුරකි.

Author

1 Comment

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading