මේ බොරුව නිවැරදි කළේ අධිකරණය නිසා… තීනියාවල නිවැරදි නොකළ බොරු කීයක් තිබේද?

තීනියාවල පාලිත හිමියන් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් තමා සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයෙන් සමාව ඉල්ලා තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා පසුගිය 3 වෙනිදා නියෝග කළා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තීනියාවල පාලිත හිමි සඳහන් කර කර සිටියේ එම ක්‍රියාව ඉතාම අමානුෂික සහ ඉතාම කැත නින්දිත ක්‍රියාවක් හැටියට හෙළා දකින බවයි.

මෙලෙස අධිකරණ නියෝගයකට අදාළව අදහස් ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාස කිරීමකි. කෙසේ වුවද ඊයේ මේ සම්බන්ධයෙන් නැවත මාධ්‍ය හමුවක් කැඳවා තීනියාවල සමිත සඳහන් කර සිටියේ, සැමදා අධිකරණය ගරු කරන භික්ෂුවක් හැටියට එම ප්‍රකාශ සම්බන්ධයෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් සමාව අයැද සිටින බවයි.

තමන් එම ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී අදාළ තහනම පනවා තිබුණේ අධිකරණ නියෝගයක් මත බව තමන් කිසිසේත්ම දැන නොසිටි බවයි. අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ එවැනි පූර්ව දැනුවත්භාවයක් නොතිබීම හේතුවෙන් මෙම සන්නිවේදන දෝෂය සහ නීතිමය ගැටලුව මතු වූ බවත්, අධිකරණයට අපහාස කිරීමේ හෝ එහි ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ කිසිදු චේතනාවක් තමන් තුළ නොතිබූ බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

විදෙස් ගමන් තහනම් කර ඇත්තේ අධිකරණයෙන් බව නොදැන සිටියා විය නොහැකිය. මක් නිසාද මෙවැනි දේශපාලනික වශයෙන් කුප්‍රකට භික්ෂුවක් අවස්ථා ගණනාවකදී අධිකරණට පෙත්සම් ගොනු කර ඇති භික්ෂුවක් මෙය නොදැන සිටියේ යයි විශ්වාස කළ නොහැකිය. යම් දෙයක් අධිකරණ නියෝගයක් බව දැන දැනම ඊට එරෙහිව කතා කළහොත් එය බරපතළ වරදක්. එබැවින්, ඒක අධිකරණ නියෝගයක් බව දැන සිටියේ නැහැ යන්න නීතිඥයන්ගේ උපදෙස් මත තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් කරන පොදු තර්කයක් මිස, ඇත්තටම තිබූ නොදැනුවත්කමක් නොවේ.

මෙවැනි භික්ෂූන් හෝ දේශපාලන ක්‍රියාකාරීන් මෙවැනි ප්‍රකාශ කරන්නේ මූලික අවබෝධයක් නැතිකම නිසාම නොවේ. බොහෝ විට නීතියේ රැහැනට හසු වූ විට, ඉන් ගැලවීම සඳහා සහ තමන්ගේ ප්‍රතිරූපය රැක ගැනීම සඳහා නොදැනුවත්කම පලිහක් කර ගැනීම ඔවුන්ගේ සාමාන්‍ය උපක්‍රමයකි.

මෙවැනි සිදු වීම් ඇතුළු සමාජයේ බොහෝ කාරනා පිළිබඳව මෙවැනි භික්ෂූන් අදහස් දක්වන්නේ මෙම සිදු වීම් සම්බන්ධයෙන් මූලික අවබෝධයක් හෝ නොදැනුත්වද? එසේම මෙවැනි ප්‍රකාශ සමාජ ගත කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව ගෙන ඇති පියවරයන් මොනවාද? කුමන හෝ දේශපාලන අගු පිලක ලැගගෙන හෝ නියෝජනය කරමින් තමන්ට හිතෙන හිතෙන දේවල් කියන්නට මොවුන්ට ඇති සදාචාරත්මක අයිතිය කුමක්ද?

අනෙක් කාරණය නම් භික්ෂූන්ට කිසි සේත්ම අදාළ නොවන සමාජයීය කාරණා සම්බන්ධයෙන් තමන්ගේ මතයන් ප්‍රකාශ කරමින් සමාජය නොමග යැවීම තක්කඩි කමකි. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, ලිංගිකත්වය, අධ්‍යාපනය, දේශපාලනය සහ සමාජය සම්බන්ධයෙන් හිතළු දොඩවන මෙවැනි පන්නයේ භික්ෂූන් ගැන සමාජයක් ලෙස නැවත සිතිය යුතුව ඇත.

අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් බව පස්සේ ආරංචි වුණු නිසා තමන් සිදු කළ ප්‍රකාශය ඉල්ලලා අස්කර ගැනීම සිදු කල ද සමාජය අර්බුධයට යවන මීට පෙර සිදු කරන ලද වෙනත් වගකීම් විරහිත ප්‍රකාශයන් ඉල්ලා අස් කරගෙන තිබෙනවාද යන්න ගැටලුවකි. එලෙස සිදු කළත් එලෙස සිදු කරන වගකීම් විරහිත සහ සමාජය නොමග යවන කාරනා නිසා සමාජය තුළ ඇතිවන අර්බුධයන්ට මෙවැනි අය වගකියන්නේ නැත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading