කැනඩා- බොස්නියා තරගය! ටෑන්ක්ගේ සුපිරි ආරක්ෂාව මැද ලැරින්ගේ ගෝලයෙන් සියල්ල වෙනස් වූ හැටි!

2026 ලෝක කුසලානයේ සම-සත්කාරක රටක් වන කැනඩාව සහ බොස්නියාව අතර ටොරොන්ටෝ හිදී පැවති B කාණ්ඩයේ සමාරම්භක තරගය අතිශය තියුණු මෙන්ම උද්වේගකර මුහුණුවරක් ගත් නමුත්, ජය පරාජයකින් තොරව අවසන් විය.

කැනඩාව මේ පිටියට පිවිසියේ ලෝක කුසලාන ඉතිහාසයේ ඔවුන්ගේ මංගල ජයග්‍රහණය වාර්තා කිරීමේ දැඩි අදිටනිනි. නමුත් 1-1 ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා ඔවුන්ට ජයග්‍රහණයේ මිහිර විඳීමට තවදුරටත් බලා සිටීමට සිදු විය.

මේ තරගයේදී විශේෂයෙන් කැපී පෙනුණු කනගාටුදායක කරුණක් වූයේ ටොරොන්ටෝ BMO ක්‍රීඩාංගණයේ දක්නට ලැබුණු හිස් ආසනයි.

මීට ප්‍රධාන හේතුව වී තිබුණේ ප්‍රවේශපත්‍ර මිල කැනඩා ජාතිකයින්ට පවා දරාගත නොහැකි තරම් අතිශයින් ඉහළ යාමයි. මේ ගැන ඔන්ටාරියෝ හි වෙසෙන කෙරී රීස් මෙසේ ලියා තිබුණි.

“ක්‍රීඩාංගණයේ හිස් ආසන දකිද්දී මට දැනෙන්නේ මහත් වේදනාවක්. අධික මිල නිසා සැබෑ පාපන්දු රසිකයන්ට මේ තරගය නැරඹීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. සැබෑ රසිකයන්ගේ සිහින සැබෑ කරනවාට වඩා හිස් ආසන දැකීමට ප්‍රිය කිරීම ගැන ෆීෆා (FIFA) සංවිධානය ලැජ්ජා විය යුතුයි,” යනුවෙන් ඔහු සිය කනස්සල්ල පළ කර තිබුණි.

තරගයේ ආරම්භයේ සිටම කැනඩාව පන්දුව වැඩි වශයෙන් පාලනය කරමින් ආක්‍රමණශීලී වීමට උත්සාහ කළත්, බොස්නියානු ආරක්ෂක වළල්ල බිඳ දැමීම ඔවුන්ට පහසු වූයේ නැත. ජොනතන් ඩේවිඩ් ඇතුළු කැනඩා ක්‍රීඩකයන්ට ලැබුණු හොඳ අවස්ථා කිහිපයක්ම ඔවුන්ගේ දුර්වල නිම කිරීම් නිසා අපතේ ගියේය. එයට එක් හේතුවක් වූයේ ඔවුන්ගේ අතටම ලැබුණු අවස්ථා ඔවුන් ලබා නොගැනීමයි.

තරගයේ 21 වැනි මිනිත්තුවේදී කැනඩා ප්‍රේක්ෂකයන් නිහඬ කරමින් බොස්නියාවේ ජෝවෝ ලුකිච් (Jovo Lukic) අපූරු හිස් පහරක් (header) මගින් ගෝලයක් වාර්තා කළේය. කෝනර් පහරකින් ලැබුණු පන්දුවක් සියාඩ් කොලාසිනාච් විසින් යොමු කළ පසු, එය සාර්ථකව ගෝල දැල වෙත යොමු කිරීමට ලුකිච් සමත් විය.

ලුකිච්

තම රට වෙනුවෙන් ඔහු වාර්තා කළ පළමු ජාත්‍යන්තර ගෝලය ද මෙය වීම විශේෂත්වයකි. පළමු අර්ධය නිමාවුණේ 1-0 ක් ලෙස බොස්නියාව පෙරමුණ ගනිමිනි.

දෙවන අර්ධයේදී කැනඩාව යළිත් දැඩි පීඩනයක් එල්ල කිරීමට පටන් ගත්තේය. තරගයේ 53 වැනි මිනිත්තුවේදී කැනඩාවට ගෝලයක් ලබාගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාවක් ගිලිහී ගියේය. කැනඩාවේ රිචී ලරියා (Laryea) ගෝල රකින්නාවද පසු කරමින් එල්ල කළ ප්‍රබල පහරක් ගෝලයක් වනු ඇතැයි සියලු දෙනා සිතුවත්, බොස්නියාවේ නායක සියාඩ් කොලාසිනාච් (Sead Kolasinac) පසුපසට දිවවිත් පන්දුව ගෝල් රේඛාව මතදී ගෝලයේ පොල්ලෙහි වද්දවා ඉවතට යොමු කළේය. එය මේ තරගයේ දුටු විශිෂ්ටතම මෙන්ම අදහාගත නොහැකි ආරක්ෂක පියවරක් විය. කොලසිනාච්ට කියන්නේ ටෑන්ක් කියාය. ඒ ඔහු එතරම් ප්‍රබල ආරක්ෂකයෙකු නිසාය. මේ තරගයේදී අවස්ථා කිහිපයකදී එය දක්නට ලැබුණි.

තීරණාත්මක ගෝලය වළක්වමින්

කාලය කෙමෙන් ගෙවී යද්දී කැනඩා පුහුණුකරු ජෙසී මාර්ෂ් කණ්ඩායමට නව ජවයක් එක් කරමින් අතිරේක ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම පිටියට කැඳෙව්වේය. තරගයේ 77 වැනි මිනිත්තුවේදී පිටියට පිවිසි සයිල් ලැරින් (Cyle Larin) මුළු තරගයේම ගමන් මග වෙනස් කිරීමට සමත් විය.

පිටියට පිවිසී මිනිත්තු දෙකක් යන්නටත් මත්තෙන්, එනම් 79 වැනි මිනිත්තුවේදී කෝනේ (Kone) ගේ විශිෂ්ට පන්දු යොමු කිරීමකින් ආරම්භ වූ ප්‍රහාර උත්සාහයක් සාර්ථකව නිමා කිරීමට ලැරින් සමත් විය. පන්දුව ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ ඇඟේ යාන්තමට දැවටී ගෝලයේ දකුණු පසින් ඇතුළට යද්දී මුළු ටොරොන්ටෝ ක්‍රීඩාංගණයම ප්‍රීති ඝෝෂාවෙන් දෙවනත් විය.

අවසාන මිනිත්තු කිහිපයේදී කැනඩාව ජයග්‍රාහී ගෝලය සොයා දැඩි වෙහෙසක් ගත්තත් බොස්නියාවේ සුපිරි ආරක්ෂකයෝ එයට ඉඩ දුන්නේ නැත. එහෙත් අවසාන මොහොත දක්වාම කැනඩාව සිය දෙවැනි ගෝලය සොයා ගැනීමට උත්සාහ කළේය.

ඒ අනුව තරගය 1-1 ක් ලෙස අවසන් විය. හිස් ආසන මැද වුවත්, තමන්ට කිසිදා අමතක නොවන අතිශය තියුණු තරගයක් කැනඩා රසිකයන්ට දැකගන්නට ලැබුණු අතර, තම මංගල ලෝක කුසලාන ජයග්‍රහණය සෙවීමේ කැනඩාවේ මෙහෙයුම ඔවුන්ගේ මීළඟ තරගය දක්වා කල් ගියේය.

ප්‍රකට නළු රයන් රෙනෝල්ඩ්ස් තරගය නරඹමින්

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading