ක්‍රිකට් ක්‍රීඩකයින්ට බදු අයකරනවාද නැද්ද තීන්දුව 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වී ඇති ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බදු අයකරනවාද නැද්ද යන තීරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම් ලැබුණ පසු අගෝස්තු 31 දින නිකුත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී ඇත.

පුද්ගල ආදායම් බදු අය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි හා කාන්තා කණ්ඩායම්වල නායක නායිකාවන් විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ අගෝස්තු 05 දින කැඳවූ අවස්ථාවේදී එසේ දැනුම් දී ඇත

එහිදී අධිකරණය මෑතකදී සම්මත කරගත් දේශීය ආදායම් සංශෝධන පනත හේතුවෙන් රිට් පෙත්සම මගින් අභියෝගයට ලක්කර ඇති කරුණ නැවත සලකා බලන්නේද යන්න පිළිබඳ නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් අධිකරණය පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ ‘ක්‍රීඩකයන්’ යන්න පුද්ගල ආදායම් බද්දට ඇතුළත් නොවන ස්වාධීන සේවා සම්පාදකයින් වශයෙන් දේශීය ආදායම් සංශෝධන පනතේ සඳහන්ව තිබීමයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා ඇත්තේ එම පනත් සංශෝධනය පෙත්සම්කාර ක්‍රීඩකයින්ට අදාළ නොවන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පවතින කොන්ත්‍රාත් ගිවිසුම් හේතුවෙන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් සේවකයින් ලෙස සැලකෙන බැවින් ලබාදීමට නියමිත තීන්දුව ප්‍රකාශයට පත්කරන ලෙස ඔහු ඉල්ලා ඇත.

සිය තීන්දුව සූදානම් කර තිබුණද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව ස්ථාවරය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගන්නා තෙක් ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කළ බව අධිකරණය දැනුම් දී ඇති අතර දේශීය ආදායම් සංශෝධනය සම්බන්ධයෙන් දෙපාර්ශවයටම වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට දින 07ක කාලයක් ලබාදී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading