දරුවන් ලවා ගෝල ගැස්සූ මෙසී තාත්තා! එංගලන්තය මෝඩ ලෙස බස් එක පාක් කළ හැටි…!

දෙවියන් වුණත් දරුවන් ඉන්න තාත්තා කෙනෙක් වුණාම කොහොමද? ඇට්ලන්ටා හි මර්සිඩීස්-බෙන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී මෙසී සම්පූර්ණයෙන්ම තමන්ගේ දරුවන් ලවා ගෝල ගස්සන තාත්තා කෙනෙක් බවට පත් වුණා.

ජීවත්වීමේ සහජ ඉව හෙවත්, survival instinct කියන්නේ සිංහල භාෂාවට හුරුපුරුදු වචනයක් නෙවෙයි. ඒත් ලියොනෙල් මෙසී නම් වූ පාපන්දු දෙවියාගේ මේ ජීවත්වීමේ සහජ ඉව එංගලන්තයට එරෙහි තරගයේ ජයග්‍රහණය දක්වා ආජන්ටිනාව තල්ලු කළා.

මෙසී! පාපන්දු දෙවියා! යළි වතාවක් ලෝක කුසලාන අවසාන මහා තරගයකට සුදුසුකම් ලැබුවා. ඔහු තමන්ගේ තරුණ කාලය හා නිරන්තරයෙන් සංසන්දනය කරන ලමීන් යමාල්ව ඉරිදා හමුවේවි. අවුරුදු 17කට කලින් යමාල් බබාව වඩාගෙන ඡායාරූප කීපයක් කැලැන්ඩරයක් වෙනුවෙන් ලබාගත්ත මෙසී මේ ඉරිදා යමාල් දරුවාට පාඩමක් කියාදෙන්න උත්සාහ කරාවි. බාසිලෝනාවේ ආත්මය රැගත් ස්පාඤ්ඤ කණ්ඩායමට වාගේම යමාල්ට මෙසී යමක් කියාදේවි.

මේ ටික අකුරු කියද්දීත් අත්වල හිරිගඩු පිපෙන බව නොකියාම බැහැ. මේ කතාව මොකක්ද? මෙසී නම් වූ දෙවියා ආජන්ටිනාව නියෝජනය කළාට ඕනෑම දෙවියෙක් වාගේ ඔහු ආජන්ටිනා මහපොළොවේ සිටි කෙනෙක් නෙවෙයි. මෙසී සිටියේ පාපන්දු ලෝකයේ දෙව්ලොව වෙච්ච ස්පාඤ්ඤයේ. බාසිලෝනා නම් වූ දෙව් මැදුරේ. මේ ඉරිදා ඔහු තමාට දිව්‍යමය බලය දුන් දෙව්ලොවට එරෙහිව මුහුණට මුහුණ හැප්පෙනවා. මේ දෙවියාට වයස අවුරුදු 39 දී පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන යන්නට නිමේශයකට කලින් මේ තරම් ලස්සන කතාන්දර අවසානයක් කොහෙන් ලැබෙන්නද?

එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර මේ තරගයත්, කලින් තරග වගේම පාපන්දු රසිකයන්ට කවදාවත් අමතක වෙන එකක් නැහැ. මේ තරගය පසුපස ඇති දේශපාලනික ඉතිහාසය, අමනාපකම් සහ පුද්ගලික දුක් වේදනා ඔක්කොම තරගය පුරාවට දකින්න ලැබුණා. ඩේවිඩ් බෙකම් පවා ප්‍රේක්ෂකාගාරයේ සිට බලා සිටියා. ඔහු මොනා කල්පනා කරනවා වෙන්න ඇතිද? රතු කාඩ්පතක් අරන් පරාජය වීමක් වගේම, පෙනල්ටියකින් එංගලන්තය දිනවීමක් බෙකම්ගේ ක්‍රීඩා ඉතිහාසයේ ගැටගැසී තියෙනවා. එංගලන්තය සහ ආජන්ටිනාව කොහොමත් පාපන්දු ලෝකයේදී තරහයි. ඒත්, බෙකම් සහ මෙසී හරිම යාළුයි. බෙකම්ගේ ඉන්ටර් මියාමි කණ්ඩායමේ සෙල්ලම් කරන මෙසී ගැන බෙකම් මොනවා හිතන්න ඇතිද? මේ තරගය ගැන ලස්සන අතුරු කතා ගොඩයි.

මැරඩෝනාගේ දෙවියන්ගේ අතෙන් ලැබුණු ගෝලය
1998 දී බෙකම්ට ලැබුණු රතු කාඩ් එක
2002 දී පෙනල්ටියකින් ගෝලයක් ගසා බෙකම් පළිය ගත් මොහොත

ඒත් ඒ ඔක්කොම කතාවලට එහා ගිය කතාව ලෝක පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම “සැලසුම්කාර මොළය” හිමි ලියොනෙල් මෙසී, තමන් සතු හෙවත් ජීවත්වීමේ සහජ ඉව සහ ජයග්‍රහණයේ සහජ බුද්ධිය පාවිච්චි කරලා පෙන්නපු එක.

තරගය ආරම්භයේදීම දෙපිලම ක්‍රීඩා කළේ පන්දුවට වඩා එකිනෙකාගේ පාදවලට පහර දෙන්න. පළමු මිනිත්තු කිහිපය තුළම වාර්තා වූ ෆවුල් සංඛ්‍යාවෙන් තරගයේ තීව්‍රතාවය සහ පීඩනය මනාව පිළිබිඹු වුණා.

පළවැනි පැය භාගයේම ගෝල් එකට ප්‍රහාර එකක්වත් නෑ. 1966න් පස්සේ ලෝක කුසලාන තරගයක මේ තරම් ඇටෑක් නැති පළවැනි අවස්ථාව. ස්ටෝන්ස්ගේ හෙඩ් එක සහ ෆර්නෑන්ඩස්ගේ කික් එක හැරුණාම කිසිම චාන්ස් එකක් නෑ.

පළවැනි විනාඩි කිහිපය ඇතුළේම ෆවුල් හයක්. ඊට පස්සේ වළි. ඇත්තටම අර කියන ඓතිහාසික උණුසුම ටීම් දෙක අතරේ තියෙනවා. කිසිම ටීම් එකක් රිස්ක් එකක් අරගෙන ප්ලේ එකක් නිර්මාණය කලේ නෑ.

හැරී කේන් වගේම මෙසීත් සෑහෙන දුරට ඇක්ටිව් වුණේ නෑ. බෙලිංහැම් අතිශය ක්‍රියාශීලී වුණත් ඔහු පටන්ගත්ත කිසිම ප්‍රහාරයක් අවසන් කරන්න බැරිවුණා.

ඒ අතරේ මෙසීගේ තාත්තා ජෝර්ජ් මෙසීගේ තාත්තා අසනීපයෙන් බව ඔහුගේ පවුලෙන් නිල වශයෙන් එළිදරව් කරලා තිබුණා. මෙසීට මේ වෙලාවේ තාත්තාට දෙන්න පුලුවන් හොදම තෑග්ග ජයග්‍රහණයක් විතරයි. මැච් එකේ 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝර්ඩන් එංගලන්තයට පළවැනි ගෝල් එක අරන් දුන්නා.

පළවැනි ගෝල් එක පිටිපස්සේ හැරී කේන් ඉන්න බව කියන්න ඕනෑ. මොකද, ඒ හැරුණාම කේන් තරගයේදී කළ දෙයක් නෑ. තරගයේ ඔහු සිටි බව වැටහුණේත් විමසිල්ලෙන් පිටිය මත ඔහුව සොයන කෙනෙකුට විතරයි. ්

ඊට පස්සේ එංගලන්තය හොද ෆෝම් එකක හිටියා. ප්‍රමාණවත් ආරක්ෂාවකුත් තිබුණා. ඔවුන් දෙවැනි ගෝල් එකට උපරිම උත්සාහ කළ යුතුව තිබුණා.

ගෝල් එක ගසා ටික වෙලාවකින් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ජෙඩ් ස්පෙන්ස් අතිවිශිෂ්ඨ සේව් එකක් කළා. 25 හැවිරිදි ස්පෙන්ස්, එංගලන්ත ජ්‍යෙෂ්ඨ පිරිමි පාපන්දු කණ්ඩායම නියෝජනය කරන පළමු මුස්ලිම් ක්‍රීඩකයා. ඔහු අද තරගයේ මුල විශිෂ්ඨ වුණා.

57 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ දියේගෝ සිමියෝන් ගෝල් එකක් ගහන්න ඔන්න මෙන්න වගේ ආවාත. ඒත්, ස්පෙන්ස්ගෙන් අතිවිශිෂ්ඨ ටැකල් කරලා ඉතාම පරෙස්සමෙන් ෆවුල් නොවී බෝලය ආරක්ෂා කළා. එතැන තිබුණු එනර්ජි එක, බලාපොරොත්තුව සම්පූර්ණ වෙන්න තිබුණේ ඉතිරි විනාඩි 35ක් තිස්සේ බස් එක පාක් කරගෙන බලා ඉන්නේ නැතිව ගෝල් ගසන්නට උත්සාහ කිරීමයි.

එංගලන්තයට සහ ඔවුන්ගේ පුහුණුකරු තෝමස් ටුචෙල්ට වැරදුණ තැන සරලයි. මෙසීගේ ආජන්ටිනාවට එරෙහිව ගෝල් එකක් ගහලා, තව විනාඩි විනාඩි 35ක් තරගයේ තියෙද්දී එක ගෝල් එක ඩිෆෙන්ඩ් කිරීම උදෙසා ස්ට්‍රැටජිය වෙනස් කරන්නේ මොන මෝඩයෝද? බලං යද්දී පුහුණුකරු ටුචෙල්ගේ එංගලන්තය.

72 වැනි මිනිත්තුවේදී එංගලන්තයට ගෝල් එකත් ගැසූ ගෝර්ඩන්ව එළියට දැම්මාත. ඔහු ඊස්රි කොස්තාව ඇතුළට ගත්තා.

එංගලන්තය සම්පූර්ණයෙන්ම ආරක්ෂක උපක්‍රමයට මාරු වුණා. පස් දෙනෙකුගේ (ඇත්තටම හය දෙනෙකුගේ) ආරක්ෂක වළල්ලක් දැම්මා. ආජන්ටිනාව දිගින් දිගටම එංගලන්තයේ බොක්ස් එක වටලන්නට පටන් ගත්තා.

මෙසීගේ “පාපන්දු ඥාණය”

මෙසීගේ මොළය කම්පියුටරයක් වගේ වැඩ කරන්න ඇති. තරගයේ එක් මොහොතක් තිබුණා මෙසී බෝලය රැගෙන එංගලන්තයේ බොක්ස් එක වටේටම කරක් ගැසුවා.

ආජන්ටිනාව 73 වැනි විනාඩියේදී තමන්ගේ දකුණු පැත්තේ මැදපෙළ ව්‍යුහය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සිමියෝන් වෙනස් කරලා ඩි පෝල්ව ඇතුළට ගත්තා. ඒ එක්කම කහ කාඩ්පතක් ලබා සිටි ලිසැන්ඩ්‍රෝ මාටිනස් වෙනුවට ඔටමෙන්ඩි සහ මොලිනා වෙනුවට මොන්ටියෙල් ඇතුළට ගත්තා. ඊට පස්සේ ඔවුන් එංගලන්තයේ ඩිෆෙන්ස් එකට වටේට සම්පූර්ණ කන්ට්‍රෝල් එක ගත්තා. එයින් පස්සේ ලවුටාරෝ මාටිනස් නම් ගෝල මැසිමත් ඇතුළට ගත්තා.

එතැනින් පස්සේ මෙසී බොක්ස් එකෙන් එළියේ හිටගෙන දිගින් දිගටම හොද හැකියාවක් තිබුණු ස්ට්‍රයිකර්ලා වෙත බෝලය ක්‍රොස් කරන්නට පටන් ගත්තා. උත්සාහයන් කීපයක්ම ගත්තා. එක වෙලාවක විනාඩි 69 දී මෙසී නිකෝ ගොන්සාලෙස් වෙත යොමු කරපු ගෝල් එකක් විශිෂ්ඨ හෙඩ් එකකින් පස්සේ එංගලන්තයේ ගෝල්කීපර් පික්ෆර්ඩ් විසින් නැවැත්තුවා. ගෝල් දෙකක් පරාජය වුණාට මේ තරගයේ පික්ෆර්ඩ් අතිවිශිෂ්ඨයි.

ඊටත් පස්සේ ඩි පෝල්ගෙන් ලැබුණ බෝලයක් මැක්ඇලිස්ටර් ක්‍රොස් කළත් ඒකත් අසාර්ථක වුණා. බෝලය ගිහින් කණුවේ වැදුනා.

මෙසී අවස්ථා කිහිපයක උත්සාහයන් ගත්තා. මීට කලිනුත් අවස්ථා කිහිපයකදීම කියා තියෙනවා වගේ මෙසීට තරම් පාපන්දු පිටියේදී තත්වය කියවාගැනීමට පුළුවන් වෙන කිසිදු මොළයක් මිහිපිට නෑ. මේක කියන්නේ ලෝකයේ සිටින සියලු මැනෛ්ජර්ලා වගේම විශ්‍රාමික පාපන්දු විශිෂ්ඨයනුත් ඇතුළත්වයි. මෙසී තරම් පාපන්දු මොළයක් නෑ.

එංගලන්තය ආරක්ෂකයන් පහ හයක් යෙදෙව්වායැයි සිතමු. එහෙම වුණත් ඔවුන් බොක්ස් එක ඇතුළට වෙලා බලා සිටියා විතරයි.

ඉතින් ප්‍රතිඵලය සරලයි. විනාඩි 85 දී මෙසී කෝනර් පහරක් කෙටියෙන් පාස් කොට, යළි තමන් ලබාගෙන එන්සෝ ෆර්නෑන්ඩස්ට යොමුකළා. ෆර්නෑන්ඩස් කිසි ගින්නක් නැතිව මෙසීගෙන් ලැබුණ බෝලය ගෝල් එකකට හැරෙව්වා. ඒ ගෝල් එක ආජන්ටිනාව සමරපු විදිය මාරයි. ඔවුන් ඉතාම පැහැදිලිව මානසික ශක්තිය පෙන්නුවා. එන්සෝ තමන්ගේ කණ් දෙපස අත තබාගෙන ‘අපි ඔබේ සිහිනය වෙනුවෙන් සටන් කරනවා ආදරණීය පාපන්දුලෝලීනී! බයවෙන්න එපා! අපි ඔබව වට්ටන්නෑ! තවත් අපි වෙනුවෙන් හඩ නගන්න!‘ යනුවෙන් සංඥා කළා.

ඒ මොහොත විස්මිතයි.

එතැනින් පස්සේ ප්‍රතිඵලය හැමෝම දැනගත්තා. ප්‍රහාරක ශක්තිය සම්පූර්ණයෙන්ම වගේ නැති කරගත්ත එංගලන්තයට ඉතිරි වෙලාවේ ගෝල් එකක් ගහන්න තියෙන ඉඩ අඩුයි. ප්‍රහාරක ශක්තිය වැඩි කරගත්ත ආජන්ටිනාවට අවස්ථාව වැඩියි.

එයින් පසු විනාඩි නවයක අමතර කාලයක් ලැබුණා. ඒක ආජන්ටිනාවට තමන්ගේ උපරිම අවස්ථා ටික ලබන්නට ලැබුණ විශාල අවස්ථාවක්. ඒත් ඒ විනාඩි නවයම ගත කරන්න ඕනෑ වුණේ නෑ. අමතර කාලයේ විනාඩි දෙක යද්දී හැමෝම කොහොමත් ලැබෙන බව දැන සිටි දෙවැනි ගෝලය ලැබුණා.

මෙසී නැවත වතාවක් ක්‍රොස් කළා. මෙවර ඒක අහු වුණේ ලවුටාරෝ මාටිනස්ට. ඔහු ඒ ගෝල් එකත් මෙසී තාත්තාගෙන් දරුවෙක්ට ලැබුණ තාත්තෙක් වගේ ගැහුවා. ජයග්‍රාහීව සැමරුවා.

ඇත්තටම එංගලන්තයේ ප්‍රේක්ෂකයන්ගේත්, කණ්ඩායමේත් කඩා වැටීම බැලූ බැල්මටම කණගාටුදායකයි. එංගලන්තයේ පබ්වලට ජයග්‍රහණය සමරනු පිණිස එකතු වී සිටි ප්‍රේක්ෂකයන් හඩා වැටුණා.

කැප්ටන් හැරී කේන් කොහෙද හිටියේ? ඇත්තටම ඒ වෙද්දීත් කේන්ව මාරු කළ යුතුව තිබුණා. නැවත එංගලන්තය ප්‍රහාරක ආකෘතියකට සකසන්න තිබුණා. ඒකත් සිද්ධවුණේ නෑ.

බොහෝ අය මේ මැච් එකට කලින් එංගලන්තයේ ජයග්‍රහණය අනුමාන කරලා තිබුණා. එහෙම හිතපු එකේ වරදක් නෑ. ලෝක කුසලානය ජයගන්නට තරම් ප්‍රමාණවත් බලඇණියක් එංගලන්තයට තිබුණා.

ඒත්! මේ කතාව ආජන්ටිනාවේ කතාවක් වෙන්නේ ඔවුන්ට තිබුණු ජයග්‍රාහී මානසිකත්වය නිසයි. මෙසීගේ නායකත්වය පිළිගැනීම, මෙසීගේ සැලසුම් ක්‍රියාත්මක කිරීම මෙන්ම එයට අනුගත වීම එක්ක ආජන්ටිනාව පැහැදිලිවම නිශ්චිත පාරක හිටියා.

මෙසී! පාපන්දු දෙවියා විසින් කිං හැරී සහ නයිට්වරුන්ගේ වටමේසය පරාජය කළා. ටුචෙල් මර්ලින් වුණේ නෑ. බෙලිංහැම් විතරක් ලාන්ස්ලොට් චරිතයට සාධාරණයක් කළා. ටුචෙල් වගේම හැරී කේනුත් තරගයේදී කළ දෙයක් නැති තරම්.

හාලන්ඩ් සහ හැරීව සංසන්දනය කරන්නට මාධ්‍යවේදියෙකූ උත්සාහ කළ අවස්ථාවේ හැරී කීවා තමන් හාලන්ඩ් වගේ ස්ට්‍රයිකර් කෙනෙක් ලෙස රැදී නොසිටින, තරගයේ ප්ලේමේකින්වලට දායක වෙන කෙනෙක් බව. ඒ හැරී කේන් කෝ? ඩික්ටේටර් ම්පාප්පේ, සෝම්බි හාලන්ඩ් වගේ ගොඩක් විවේචන තියෙන කාලෙක හැරී කේන් ඔක්කොටම වඩා නිශ්ක්‍රිය වුණා. අවශ්‍යම මොහොතේදී!

එංගලන්තය ගොඩක් හීන දකින්න ඇති. ඒත් ෆුට්බෝල් දිනන්න පුලුවන් අවුරුදු 60කින් දිනලා නැති බව, මේ පාර හොද ටීම් එකක් රැගෙන ඒම වගේ කතාන්දරවලින් නෙවෙයි. දිනන්න පුලුවන් සෙල්ලම් කරලාමයි. එංගලන්තය පරාදයි. ඒ පරාජයේ වගකීම ඔවුන් සතුයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading