මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි කරනු ලබන සියලුම පූර්ණ විද්‍යුත් (EV) වාහන සඳහා ඉදිරියට කොළ පැහැති අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පියවර ගත් බවයි. ඒ අනුව මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, කාර්, SUV ඇතුළු සියලුම වර්ගයේ EV වාහනවල ඉදිරිපස සහ පසුපස සඳහා මෙම කොළ පැහැති අංක තහඩු ලබා දෙනු ඇත.
මේ කොළ පැහැති අංක තහඩුව නිකුත් කරන්න තීරණය අරගත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයේ, ප්‍රවාහන ඇමතිතුමා සහ ප්‍රවීණයන් පිරිසක් එකතු වෙලා. ඒක නිසා මේ අවුරුද්දේ ඉඳන්, ලියාපදිංචි වෙන සියලුම ඊවී (EV) වාහන සඳහා, ඒ කියන්නේ මෝටර් සයිකල් ද, ත්‍රීවීලර්ස් ද, SUV ද, කාර් රථද, ඒ සියලුම දේවල් වලට කොළ පැහැති අංක තහඩුවක් තමා ඉදිරිපසටත් පසුපසටත් අපි ලබා දෙන්නේ.
කෙසේ වෙතත්, සෙසු සාමාන්‍ය වාහන සඳහා නිකුත් කරනු ලබන අංක තහඩුවල වර්ණයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර, ඒවා පෙර පැවති වර්ණවලින්ම (ඉදිරිපස සුදු සහ පසුපස කහ) නිකුත් කෙරේ. අංක තහඩුවේ පසුබිම් වර්ණය හැර අකුරු, ඉලක්කම් සහDepartment of Motor Traffic ලෙස සඳහන් යෙදීම් ආදී අනෙකුත් සියලුම තොරතුරු සාමාන්‍ය අංක තහඩුවල පරිදිම පවතිනු ඇත.
මීට පෙර ලියාපදිංචි කරන ලද EV වාහන සඳහා ද ඉදිරියේදී මුද්‍රණ කටයුතු අවසන් වීමෙන් පසුව බොහෝ දුරට කොළ පැහැති අංක තහඩු ලබා දීමට කටයුතු කරන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
අංක තහඩු නිෂ්පාදන කටයුතු සඳහා වන නව පස්අවුරුදු කොන්ත්‍රාත්තුව ‘සවුත් ඒෂියන් ටෙක්නොලොජීස්’ සමාගම වෙත ප්‍රදානය කර ඇති අතර, එම කොන්ත්‍රාත්තුවේ කටයුතු පසුගිය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන බව ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට පවතින අංක තහඩු හිඟය සහ ප්‍රමාදය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ නිෂ්පාදනාගාරවල සේවකයින් රාත්‍රී වැඩමුර සඳහා යෙදවීම, අමතර යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීම සහ ආරක්ෂක හමුදාවන්ගේ සහාය ලබා ගැනීම හරහා ඉදිරි මාස හය ඇතුළත දැනට ප්‍රමාද වී ඇති සියලුම අංක තහඩු ජනතාව වෙත ලබා දී අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
දැනට 2024, 2025 සහ 2026 වසරවල ලියාපදිංචි වූ වාහන සඳහා අංක තහඩු ලබා දීමේ යම් ප්‍රමාදයක් පවතින අතර, ඉදිරි මාස හය ඇතුළත එම සියලු හිඟ අංක තහඩු මුද්‍රණය කර අවසන් කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, 2026 ජූනි 10 සිට අගෝස්තු 30 දක්වා කාලය තුළ අලුතින් ලියාපදිංචි කළ වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කර අවසන් කර ඇති බැවින්, දැනට අලුතින් ලියාපදිංචි වන වාහන හිමියන්ට ලියාපදිංචි වී සතියක් වැනි කෙටි කාලයක් ඇතුළත නිල අංක තහඩුව ලබා ගැනීමේ හැකියාව පවතී.
අංක තහඩු ප්‍රමාදය නිසා මහජනතාව විවිධ ආකාරයේ වර්ණ සහ පුවරු භාවිත කර ඇති බැවින්, අදාළ වාහනය නිල වශයෙන් EV වාහනයක් ද නැද්ද යන්න වාහන ආදායම් බලපත්‍රය පරීක්ෂා කිරීමෙන් පහසුවෙන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා පොලීසියට හැකියාව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මේ ලෙස විද්‍යුත් වාහන සඳහා අලුතින් නිකුත් කරන ලද කොළ පැහැති අංක තහඩුවක් සහිත වාහනයක් පරික්ෂා කිරීමට යාමේදී, වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වාහන හිමිකරුවෙකු අතර මතභේදාත්මක තත්ත්වයක් හටගත බව පසුගිය දා සමාජ මාධ්‍ය තුල සංසරණය වූ වීඩියෝවක දක්නට ලැබුණි.
ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙව්ම් රණසිංහ නැමැති අයෙකු විසින් මුහුණ දෙන ලද මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් පසුගිය සැප්තැම්බර් 05 වන දින සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි. “වැලිවේරිය පොලිසිය කොළ පාට නම්බර් ප්ලේට් එකට මාව නතර කරා! ඒගොල්ලෝ දැනුවත් නෑ ලු ඒ ගැන!” යනුවෙන් එහි සටහන් කර තිබූ අතර, අදාළ කොළ පැහැති අංක තහඩුව රජයෙන් නිකුත් කරන ලද්දක් බව පොලිස් නිලධාරීන් දැනුවත්ව නොසිටි බව එම වීඩියෝවෙන් පැහැදිළි වේ. එම නිසා මෙම අංක තහඩු නිකුත් කිරීමේදී පොලීසියට ද ඒ සම්බන්ධයෙන් ඉගැන්වීම සිදු කළ යුතු අතර එසේ නොවන්නේ නම් නිරන්තරයෙන් කුමන හෝ කාරණයකට ලියන්නට බලා සිටින දඩ කොළ පොලීසිය නොදන්නා බව නොදන්වා දඩ ගසනු ඇත.

