ශ්‍රී ලංකාවෙන් බිහිවූ වේගවත්ම කෙටි දුර ධාවන ශූරයා වන යුපුන් අබේකෝන් හදිසියේම සිය ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. විශේෂත්වය වන්නේ ඉදිරියේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා සංචිතයේ ඔහුගේ නම පවා සටහන්ව නොතිබීමයි.
එළඹෙන ජූලි 23 සිට අගෝස්තු 02 දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වීමට නියමිත 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 27 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළුව 40 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහභාගී වීමට නියමිතව ඇත.
යුපුන් අබේකෝන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ප්‍රධාන ඉසව්ව වන මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් තේරී පත්ව ඇත්තේ දිනෙත් ඉඳුවර වීරරත්න සහ චාමෝද් යෝධසිංහ යන ක්‍රීඩකයින් දෙදෙනා පමණි. එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ ලෝකයේ අතලොස්සක් වන මීටර 100 ධාවකයින් අතර යුපුන් අබේකෝන් සිටින අතර ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාවද ඔහුට හිමිවූ අතර එම අවස්ථාව හිමිකර ගත් ශ්‍රී ලංකාවේ එකම ජවන ඉසව් ක්‍රීඩකයාද ඔහු වේ. ඊට අමතරව ඩයමන්ඩ් ලීග් තරගාවලිය හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබුනේ රුමේෂ් තරංගට පමණි. ඩයමන්ඩ් ලීග් තරගවල රන් පදක්කම් ජයග්‍රාහකයකු වන රුමේෂ් තරංග මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නියෝජනය කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දරයි.
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරා නොගැනීම ඔහුගේ මෙම ක්ෂණික ක්‍රීඩාවෙන් සමුගැනීමට සෘජුවම බලපෑවේද යන්න මතභේදාත්මකය. සැබවින්ම මෙම සමුගැනීම පිටුපස ඇත්තේ ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික තීරණයක්ද? නැතහොත් අපේ රටේ ක්‍රීඩා පද්ධතිය තුළ පවතින ගැටලුකාරී තත්ත්වයක ප්‍රතිඵලයක්ද?
කෙසේ වෙතත්, සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් යුපුන් අබේකෝන් සඳහන් කර ඇත්තේ, සිය ක්‍රීඩා සමුගැනීමට අදාළ හේතු සහ මේ සම්බන්ධයෙන් වන වැඩිදුර කරුණු ඉදිරි දිනයකදී ජනතාව හමුවේ අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බවයි.
