ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා පනතෙන් ගලවා වෙනම නීතියක් යටතට, බුකීකරුවන්ට, දේශපාලකයින්ට තනතුරු බෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් යනුවෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අනුව එය ක්‍රියාත්මක වීමෙන් පසු ක්‍රීඩා පනතේ විධිවිධාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා බල නොපැත්වෙනු ඇත.

ඒ අනුව ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ විධිවිධාන සහ ක්‍රීඩා පනතේ විධිවිධාන අතර යම් ගැටුමක් ඇති වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් පනත බලපැවැත්විය යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සෑම ක්‍රීඩාවක් සම්බන්ධයෙන්ම වන ජාතික ක්‍රීඩා සංගම් ක්‍රීඩා පනතට යටත් වන අතර මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා පනතට යටත්ව පැවතුනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු හෝ ස්වාධීන අධ්‍යක්ෂවරයකු වීමට නුසුදුසුකම් යටතේ සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, යම් පළාත් සභාවක සභිකයකු හෝ යම් පළාත් පාලන ආයතනයක සභිකයකුට ඒ සඳහා සුදුසුකම් නැති බවයි.

යම් අභියාචනයක් විභාග වෙමින් පැවතීම නොතකා, අවුරුදු දහයක කාල සීමාව තුළ චරිත දූෂණය, වංචාව, වංකභාවය, දූෂණය හෝ හිංසනය සම්බන්ධයෙන් වන වරදක් සම්බන්ධයෙන් අධිකරණයක් විසින් හෝ යුද්ධ විනිශ්චයාධිකරණයක් විසින් වරදකරු කර මාස හයකට නොඅඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමක් සඳහා දඬුවම් පමුණුවා ඇත්නම් ඒ සඳහා නුසුදුස්සන් වේ.

නාම යෝජනා භාරදීමට පෙරාතුව ම වන අවුරුදු තුනක කාලසීමාව තුළ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයේ ගෙවීම් කරනු ලබන සේවා නියුක්තිකයකු හෝ නිදහස් ජනමාධ්‍යවේදියකු ලෙස යම් මාධ්‍ය සංවිධානයකට සම්බන්ධ වෘත්තීය ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරනු ලබන්නේ නම් හෝ ලැබුවේ නම් හෝ මාධ්‍ය සංවිධානයක හිමිකරුවකු හෝ අර්ථලාභී හිමිකරුවකු හෝ ප්‍රධාන කොටස් හිමියකු වන්නේ නම් ඔවුන්ද ඒ සඳහා නුසුදුස්සන් වේ.

අවුරුදු තුනක කාල සීමාව තුළ පිළිගත් ක්‍රිකට් තරඟාවලියකට සහභාගි වෙමින් නිලධාරියකු හෝ පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබීම නුසුදුස්සකු වීමට හේතුවකි.

අවුරුද්දක කාල සීමාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා ආම්පන්න හෝ අයිතමයක් හෝ උපකරණයක් විකිණීමෙහි හෝ සැපයීමේහි යෙදෙන්නේ නම් හෝ යෙදී ඇති නම් හෝ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා පුහුණු පාසල් පවත්වනු ලබන්නේ නම් හෝ පවත්වනු ලැබ ඇත්නම් හෝ ක්‍රීකට් ක්‍රීඩාව සම්බන්ධ මූල්‍ය සේවාවන් සැපයීමෙහි යෙදී සිටින්නේ නම් එයද නුසුදුසුකමකි.

ඔහුට හෝ ඔහුගේ පවුලේ යම් ආසන්න සාමාජිකයකුට (කලත්‍රයා, දෙමාපියන්, සහෝදරයකු, පුත්‍රයකු, දියණියක හෝ බෑනා හෝ ලේලිය වන) ඔට්ටු ඇල්ලීම, සූදු හෝ පරදු තැබීම සම්බන්ධයෙන් බැඳියාවක් ඇත්නම් හෝ ඔට්ටු ඇල්ලීමේ, සූදු හෝ පරදු තැබීමේ සංවිධානයක බැඳියාවක් ඇත්නම් හෝ එවැනි යම් සංවිධානයක දෛනික මෙහෙයුම්වල සේවා නියුක්තියකු වන්නේ නම් එයද නුසුදුසුකමකි.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි හෝ ක්‍රීඩා පනත යටතේ පිහිටුවන ලද වෙනත් යම් ජාතික ක්‍රීඩා සංගමයක හෝ යම් සාමාජික ක්‍රීඩා සමාජයක හෝ සංගමයක සභාපති, උපසභාපති, ලේකම්, උපලේකම්, භාණ්ඩාගාරික හෝ උපභාණ්ඩාගාරික යන ධුර එකවර දරන තැනැත්තකු වන්නේ නම් එයද නුසුදුසුකමකි.

ප්‍රධාන විධායක නිලධාරියා සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ යම් පළාත් සභාවක සභිකයකු හෝ යම් පළාත් පාලන ආයතනයක සභිකයකු වන්නේ නම් හෝ එසේ වුවහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට්හි යම් සාමාජිකයකුගේ නිලධරයකු හෝ සේවා නියුක්තයකු හෝ ධුර දරන්නකු වන්නේ නම් හෝ එසේ වුවහොත්, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ධුර දරන්නකු හෝ නිලධාරියකු හෝ සේවා නියුක්තියකු වන්නේ නම් හෝ එසේ වුවහොත් ඒ සඳහා නුසුදුසු වන බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading