දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (09) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිරත විය. වෘත්තීය සමිති 12ක එකතුවකින් සංවිධානය කර තිබූ මෙම සංකේත වැඩ වර්ජනය මඟින් ඔවුන් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් රජය වෙත ඉදිරිපත් කර තිබේ.
කෙසේ නමුත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංවර්ධන නිලධාරී සේවා සංගමයේ වෘත්තීය සමිති නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි තර්ජනාත්මක ලෙස පවසා සිටියේ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එසේම ඊයේ ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වත්මන් රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ පටු දේශපාලන උවමනාවකින් සිදු කරන ලද්දක් බවයි. විපක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ සමගි ජන බලවේගය වැනි දේශපාලන පක්ෂවලට අනුබද්ධිත වෘත්තීය සමිති කිහිපයක නායකයින් විසින් සංවර්ධන නිලධාරීන් මුලාවේ හෙළමින් මෙම පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම විපක්ෂයට සම්බන්ධ සෘජු දේශපාලන සම්බන්ධතා සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී පක්ෂය ඒ වගේම සමගි ජන බලවේගය ඇතුළු විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්ති සමිති කීපයක් විසින් අද දින වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර තිබුණා.අපි දශක ගණනාවක් පසුගිය කාලයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර ක්‍රියාමාර්ග ගනිද්දී ඒ ක්‍රියාමාර්ග වැළැක්වීමට පියවර ගත් අය, ඒ ක්‍රියාමාර්ග පාවා දෙමින් කටයුතු කරපු අය, ඒ ක්‍රියාමාර්ග වලට එරෙහිව ලියුම් ගහලා සාමාජිකයන් බය කරපු අනුරාධලා ධම්මිකලා තමයි අද දවසේ මේ ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කරලා තිබුණේ.
අදාළ ක්‍රියාමාර්ගය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දන සූරියආරච්චි සඳහන් කළේ, මෙය ඇතැම් පාර්ශව විසින් වැඩ වර්ජනයක් ලෙස හඳුන්වනු ලැබුවද රට පුරා කිසිදු ස්ථානයක වැඩ වර්ජනයක් සිදු නොවූ බවයි.
ගොඩක් අය මේක වැඩවර්ජනයක් කියලා තමයි නම් කරල තිබ්බේ. ඇත්තටම වැඩවර්ජනයක් කොහෙවත් තිබුණේ නැහැ. විවිධ කාර්යාලවල සංවර්ධනධාරීන් ප්‍රමාණයක් අසනීප නිවාඩු වාර්තා කිරීමක් කරලා තිබ්බා. අසනීප නිවාඩු කියලා කියන්නේ තමන්ට අදාළව තමන්ගේ අසනීපයක් පිළිබඳව සේවයට වාර්තා කරන්න බැහැ අද දින කියන අසනීප නිවාඩු වාර්තා කිරීමක් තමයි ක්‍රියාමාර්ගයක් විදිහට තිබුණේ.
සංවර්ධන නිලධාරී සේවා සංගමය, සමස්ත ලංකා ප්‍රජා බලගැන්වීම් නිලධාරීන්ගේ සංගමය සහ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN-04 වැටුප් තලයට අයත් ආශ්රිත සේවා නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිති ගණනාවක්ම මෙම ක්‍රියාමාර්ගයට කිසිසේත්ම සහාය නොදැක්වූ බවද පවසා සිටියේය.
2006 වසරේ වැටුප් චක්රලේඛයෙන් ඇති වූ වැටුප් විෂමතා, බඳවා ගැනීමේ ගැටලු, උසස්වීම් සහ සේවා ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්න වසර 20කට පසුව විසඳීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව හෙතෙම පැවසීය. ස්ථිර වැටුප් කොමිසමක් පත් කරමින් එම ගැටලුවලට විද්‍යාත්මක හා සාධාරණ විසඳුම් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින මොහොතක, මෙවැනි ක්‍රියාමාර්ග තෝරා ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ සුභසිද්ධිය උදෙසා ගන්නා ලද පියවරක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයේ නිල පත්වීම් ලිපියක් පවා නොමැති “ආර්ථික සංවර්ධන නිලධාරී” වැනි තනතුරු නාමයන් අවභාවිත කරමින් අටවාගත් ඇතැම් වෘත්තීය සමිති, රාජ්‍ය ආයතන සංග්‍රහ ප්‍රතිපාදන සහ වරප්‍රසාද අයථා ලෙස භාවිතා කරමින් නීති විරෝධී ලෙස සාමාජික මුදල් එකතු කර ඇති බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
වත්මන් රජය විසින් අදාළ නිලධාරීන්ට ස්ථිර විධිමත් තනතුරක් ප්රදානය කරමින් නීත්‍යානුකූල පසුබිමක් සකස් කරමින් සිටින බවත්, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවය තුළ කෘත්‍රිම ගැටලු නිර්මාණය කරන මෙවැනි කුමන්ත්රණකාරී වැඩපිළිවෙලවලට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් චන්දන සූරියආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තවදුරටත් ආර්ථික සංවර්ධන නිලධාරී නමින් වෘත්තීය සමිති භාවිතා කරමින් කරන ඒ අනීතික ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි ඉදිරියේදී මේ කණ්ඩායම් කරන මේ සුන්බුන් විපක්ෂයේ අරමුණු වෙනුවෙන්, රාජ්‍ය සේවය තුළ නැති ගැටලු නිර්මාණය කරමින් සිදුකරන මේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙල පරාජය කරන්නත්, අපි ඉදිරියේදී තව බරපතල දැඩි ක්‍රියාමාර්ග ගන්නත් බලාපොරොත්තු වෙනවා.
රට ඉදිරියට නිවැරදි වෙද්දී රාජ්‍ය සේවයට අවශ්‍ය කරන විසඳුම් ටික ලබා දෙද්දී ඒ වැඩපිළිවෙල බාධා කරන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒ බාධා කිරීම වළක්වලා නිසි ක්‍රියාමාර්ග ගන්න ඒ සඳහා වන සුජාත වූ අයිතියක් අපි සතුව තියෙනවා. අපි ඒ අයිතිය ඉදිරියේදී ඉතාම ප්‍රබල ලෙස භාවිතා කරන්නත් බලාපොරොත්තු වෙනවා.
චන්දන සූරිය ආරච්චි NPP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තර්ජනාත්මක ප්‍රකාශයක් වන අතර මෙහිදී ඔහු ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ සහ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නියුක්ත සංවර්ධන නිලධාරින්ගේ සංධානයේ අනුරාධ සේනාරත්න යන වෘත්තීය නායකයන්ගේ නම් සඳහන් කරමින්ම ප්‍රකාශ කර සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය කැඳවා තිබුණේ ඔවුන් විසින් බවයි. එම නිසා What News මේ සම්බන්ධයෙන් අනුරාධ සෙනෙවිරත්නගෙන් විමසා සිටියා.
වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථකයි
සංවර්ධන නිලධාරීන්ගේ මූලික වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක වූ බවත්, එම සාර්ථකත්වය දරාගැනීමට නොහැකි වීම නිසා මන්ත්‍රීවරයා මෙලෙස හැසිරෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
අපි සංවර්ධන නිලධාරීන් මූලික වෘත්තීය ගැටලු විසඳා ගැනීම සඳහා ආණ්ඩුවට යම්කිසි ආකාරයක බලපෑමක් කරන්න තමයි මේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කළේ. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වුණා. ඉතින් ඒ සාර්ථක වීම දරාගන්න බැරි ස්වභාවයක් තමයි මේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ.
මෙහිදී ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ධම්මික මුණසිංහ මහතාගේ සහ සිය නම සඳහන් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගය කැඳවූයේ ඔවුන් බවට චෝදනා එල්ල කිරීම නීත්‍යානුකූල වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයට කරන ලද තර්ජනයක් බව අනුරාධ සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේය.
ඒ වගේම ඒක ඉතාමත් බරපතල අනතුරු ඇඟවීමක්, තර්ජනය කිරීමක්. විශේෂයෙන්ම අපි මේකට සම්බන්ධ වෙලා ඉන්නේ නීත්‍යානුකූලව කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිති. එතකොට ඒවා අපි වාර්ෂික වාර්තා දෙමින් යාවත්කාලීන කරමින් පවත්වාගෙන යන ඒවා. එතකොට ඒ වගේ තියෙන නීත්‍යානුකූල භාවය ප්‍රශ්න කරන එක චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයාට අදාළ කාරණයක් නෙමෙයි. ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්න, ඒවා ගැන සොයා බලන්න, ඒවා යාවත්කාලීන කිරීම් කරන කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අංශය තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ තමයි බරපතල විදිහේ තර්ජනයක් මේ සූරියආරච්චි කරලා තියෙන්නේ.
එමෙන්ම ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කරගැනීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත වැනි පනත් හරහා ආරක්ෂක අංශවලට සහ පොලිසියට වැඩි බලතල ලැබෙන වටපිටාවක, මෙවැනි ප්‍රකාශ මගින් ඉදිරියේදී සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තිකයන් මෙන්ම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජන කොටස් වෙත විශාල බලපෑමක් සිදුවිය හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.
එබැවින් චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව සියලු දෙනාම දැඩි විරෝධය පළ කළ යුතු අතරම, මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගත හැකි සියලු ක්‍රියාමාර්ගවලට යොමු විය යුතු බවද අනුරාධ සේනාරත්න අවධාරණය කළේය.
ඒක මම හිතන්නේ අපි අපිට විතරක් නෙමෙයි. මේ රටේ සියලුම වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති විසින් හෙළා දැකිය යුතු කාරණයක් විදිහට තමයි මම දකින්නේ. මොකද ඉදිරියේදී සියලුම දෙනාට මෙවැනි ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ වගේම දැන් ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කර ගැනීමේ පනත, ඒ වගේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත වගේ පනත් හරහා විශේෂයෙන්ම ආරක්ෂක අංශ වලට, පොලිසියට, හමුදාවට වැඩි බලයක් ලැබෙනවා. එවැනි තත්ත්වයන් ඇති වුණාට පස්සේ මීට වඩා මේ බරපතල තර්ජනයක් මේ සිවිල් සංවිධාන වලට, වෘත්තීය සමිති වලට, වෘත්තිකයන්ට ඒ වගේම මේ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන විවිධ ජන කොටස් වලට එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාම මේ වෙලාවේ මේ සම්බන්ධව දැඩි විරෝධයක් සහ නීත්‍යානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග වලට යොමු විය යුතුයි කියන එක තමයි මගේ අදහස.
