ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ජාතික ශූර රුමේෂ් තරංග පතිරගේ ඊයේ (31) සමත් විය.
මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ලෙස මෙන්ම, මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව ලබාගත් ඓතිහාසික පළමු රන් පදක්කම ලෙසද ඉතිහාසයට එක්වේ.
තරගයේ මූලික වටයේ සිටම ඉහළ දක්ෂතා දැක්වූ රුමේෂ් තරංග මීටර් 82.84ක දුරක් වාර්තා කරමින් පෙරමුණ ගැනීමට සමත් විය. අවසන් තරගයේදී ඔහුට හිමි වූ පළමු අවස්ථාව අසාර්ථක වුවද, ඉන් අධෛර්යමත් නොවූ ඔහු සිය දෙවන අවස්ථාවේදී මීටර් 89.75ක විශිෂ්ට දුරක් වාර්තා කළේය. එම වාර්තාගත දුර තරගයේ ප්‍රමුඛතාවය මෙන්ම ශ්‍රී ලංකාවට ඓතිහාසික රන් පදක්කම හිමිකර දීමටද ප්‍රමාණවත් විය.
2006 මෙල්බර්න් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසීමේ ඉසව්වෙන් චින්තන විදානගේ දිනාගත් රන් පදක්කමෙන් පසුව, වසර 20ක පදක්කම් හිඟය අවසන් කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනාගත් ප්‍රථම ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසගත වේ.
