ආයේ බලය දෙන්නේ නැහැ, අවුරුදු තුනකට පස්සෙත් එන්නේ අපිමයි – ඇමති ලාල්කාන්ත කියයි!

දිනාගත් දේශපාලන බලය කිසිසේත්ම නැවත ලබා නොදෙන බවත් මෙම වසර තුන ගෙවී ගිය පසුවද නැවත බලයට පැමිණෙන්නේ තම තමන්ද බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

අද (07) පැවති ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ඔහු මේ බව සදහන් කළා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් නව තත්ත්වය තුළ දිනාගත් දේශපාලන බලය ආරක්ෂා කරගත යුතු බවයි.

“ආයේ දෙන්නේ නැහැ. දෙන්නේ නෑ තමයි. මේ අවුරුදු තුන ගියාට පස්සෙත් අපිම තමයි නැවත බලයට එන්නේ. ඒක අද මේ සභාවෙනුත් තහවුරු කරනවා” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම දේශපාලන බලය ආරක්ෂා කරගත යුත්තේ කාගෙන්ද යන්න පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කල අතර ඔහු සඳහන් කළේ, ඒ අනුව වැඩ කරන පන්තියේ ද්‍රෝහීන්ගෙන් මෙම දේශපාලන බලය ආරක්ෂා කරගත යුතු බවයි.

වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ ධනපති පන්තියේ “ලුතිනන්ලා” සිටින බවට චෝදනා කළ කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා, ඔවුන් තම දේශපාලන අනන්‍යතාව සඟවාගෙන සැඟවුණු ස්වරූපයෙන් කටයුතු කරන බව කියා සිටියා.

එවැනි පිරිස් බොහෝ විට ස්වාධීන යැයි හඳුන්වා ගන්නා වෘත්තීය සමිති තුළ රැඳී සිටින බවද ඔහු සඳහන් කළා.

මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රධාන පිරිස තමන් යැයි සිතා සිටින, ස්වාධීන බව පවසන පිරිසක් මුලින්ම වැඩ වර්ජන කැඳවමින් පැමිණි බව අමාත්‍යවරයා පැවසුවා.

ඔවුන්ගේ නම් සඳහන් නොකරන බව පැවසූ අමාත්‍යවරයා, තමන් පාරට බැස්සහොත් සියල්ල නතර කළ හැකි යැයි එම පිරිස් සිතා සිටි බවද පෙන්වාදෙනවා.

කෙසේ වෙතත් එවැනි උත්සාහයන් කිහිපයක්ම සිදු වුවද ඉන් එකකටවත් ඉදිරියට යාමට වැඩ කරන පන්තියේ සහෝදර සහෝදරියන් ඉඩ නොදුන් බව ඔහු අවධාරණය කළා.

ඒ අනුව ආණ්ඩුවට එරෙහිව එම ලුතිනන් නායකයන් ගැනීමට උත්සාහ කළ සියලුම ක්‍රියාමාර්ග මේ වන විට ජනතාව විසින් යටපත් කර ඇති බවත් මේ වන විට කිසිවක් ප්‍රකාශ කිරීමට තරම් දේශපාලන ව්‍යාපාරයක් පිටත නොමැති බවත් කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply