පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව මඟින් විකාශය කළ කරුණු පදනම් කරගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ව්‍යාජ තොරතුරු විශාල වශයෙන් ප්‍රචාරය කරමින් පවතී.
එහි මූලිකම පදනම ශානි අබේසේකර විමර්ශනයෙන් ඉවත් කරවාගැනීමය.
විශේෂයෙන්ම, ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී අමානුෂික ලෙස ශාරීරික වධහිංසා පමුණුවා ඇති බවටත්, ඔහුගේ පශ්චාත් භාගයට පොලු බස්සා ඇති බවටත් සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරයන් දියත් වෙමින් පවතී.
ශානි අබේසේකර විමර්ශනවලින් ඉවත් කළ යුතු බව විරෝධතා සහ උපවාස පවා පවතී.
එහෙත්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා විසින් 2026 ජුනි 10 වන දින ප්‍රකාශයට පත් කරන ලද පිටු 18කින් යුත් අධිකරණ නියෝගය සියුම්ව නිරීක්ෂණය කිරීමේදී, මෙම චෝදනාවල සැබෑ ස්වභාවය සහ ඊට පසුබිම් වී ඇති පටු අරමුණු මනාව පැහැදිලි වේ.
කටකතා සහ ඇත්ත
සැකකරුට අමානුෂික ශාරීරික වධහිංසා සිදු කර ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මුළුමනින්ම පදනම් විරහිත බවට හොඳම සාක්ෂිය සපයන්නේ සැකකරුගේ පාර්ශ්වයෙන්ම සහ නිල වෛද්‍ය වාර්තා මගිනි.
වෛද්‍ය පරීක්ෂණයේදී 03 වන සැකකරුගේ ශරීරයේ කුමන හෝ තුවාල නිරීක්ෂණය වී තිබේදැයි මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි උගත් ජනාධිපති නීතිඥවරයාගෙන් විමසා සිටින ලදී.
එම අවස්ථාවේදී අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ, ශරීරයේ කිසිදු තුවාලයක් නිරීක්ෂණය වී නොමැති බවත්, සියලුම වධ හිංසා පැමිණවීම් මානසිකව සිදුකර ඇති බවත්ය.
තවද, කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂ වේද ආයතනයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනය වී ඇත්තේ, පරීක්ෂා කරනු ලබන අවස්ථාව වන විට දර්ශනය වන කිසිදු බාහිර තුවාල 03 වන සැකකරුගේ ශරීරයේ නොමැති බවයි.
එම වෛද්‍ය වාර්තාවේ මෙය පැහැදිලිවම “No visible external injuries were noted at the time of examination” යනුවෙන් සටහන් කර ඇත.
ඒ අනුව, “පොලු බැස්සවීම්” හෝ සීඅයිඩීය “වධකාගාරයක්” බවට ගෙන යන කතා හුදෙක්ම සමාජය නොමඟ යැවීමේ අරමුණින් ගොඩනැගූ ප්‍රබන්ධ බව නීතිමය ක්‍රියාවලිය තුළින්ම තහවුරු වී ඇත.
මානසික වධහිංසා චෝදනාව
ශාරීරික වධහිංසා චෝදනාව අසත්‍යයක් බව ඔප්පු වීමත් සමඟ, සැකකරුගේ පාර්ශ්වය මානසික වධහිංසා පිළිබඳව කරුණු මතු කර ඇත. එහෙත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දී ඇත්තේ මෙය විමර්ශන කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් බවයි.
2026/02/25 වන දින සැකකරු රැඳවුම් භාරයට පත් කර ඇති අතර, ඉන්පසු අවස්ථා කිහිපයකදීම ඔහුව අධිකරණයට රැගෙන ආවද, කිසිදු අවස්ථාවකදී කෲර සහ අමානුෂික වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඔහු හෝ ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට පැමිණිලි කර නොමැත.
සැකකරුට සතියකට වරක් සිය නීතිඥයින් හමුවීමට අවස්ථාව ලැබී ඇති අතර, ඔහුගේ දරුවා විසින් නිවසින් කෑම රැගෙන ගොස් දීමට ද කටයුතු කර ඇත.
මීට පෙර අවස්ථාවක පූර්වගාමී මහෙස්ත්‍රාත්තුමා විසින් සැකකරුගෙන් ප්‍රශ්න විමසීමේදී, තමාට විමර්ශන කණ්ඩායම හොඳින්ම සලකන බවත්, තමාට එය විශාල සහනයක් බවත් සැකකරු විසින්ම ප්‍රකාශ කර තිබී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සැකකරුගේ සැබෑ අවශ්‍යතාවය වී ඇත්තේ තමාට වධහිංසා කළ බවට කරුණු ඉදිරිපත් කර විමර්ශන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව මෙම විමර්ශනයෙන් ඉවත් කිරීම බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෙම සැකකරු ඉතා හොඳ සෞඛ්‍ය හා මානසික තත්ත්වයකින් හෙබි පුද්ගලයෙකු බවත්, මුලදී නොතිබූ මානසික රෝගයක් ඔහු මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමේදී පෙන්වා ඇත්තේ විමර්ශන අඩාල කරවීමට බවත් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර තිබේ.
සැකකරු මානසික වධහිංසාවකට ලක්ව ඇති බවට යම් හෝ සාක්ෂියක් ලෙස ඉදිරිපත් වී ඇත්තේ විශේෂඥ අධිකරණ මානසික වෛද්‍ය සී. ටී. කේ. ප්‍රනාන්දු මහතාගේ වාර්තාව පමණි. කෙසේ වෙතත්, එම වාර්තාවේ විශ්වසනීයත්වය පිළිබඳව ද අධිකරණයේදී දැඩි ලෙස ප්‍රශ්න කෙරිණි.
මෙම පරීක්ෂාව සඳහා තවත් වෛද්‍යවරුන් හතර දෙනෙකු සහය ලබා දුන් බව වාර්තාවේ සඳහන් වුවද, ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන් නොවන බවත්, අදාළ වාර්තාවට ඔවුන් අත්සන් තබා නොමැති බවත් අනාවරණය විය.
එකී වෛද්‍ය වාර්තාවේ අවසානයේම දක්වා ඇත්තේ, මෙය සරල සංක්ෂිප්ත පරීක්ෂණයක් (brief forensic psychiatric assessment) මත පදනම් වූවක් බවත්, සම්පූර්ණ තක්සේරුවක් සඳහා බහු විනය වෛද්‍ය මණ්ඩලයක් අවශ්‍ය බවත්ය.
මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය
ඉදිරිපත් වූ සියලුම කරුණු සහ වෛද්‍ය වාර්තා සියුම්ව ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව, කොටුව මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා සිය නියෝගය මගින් ඉතා පැහැදිලි නිගමනයකට එළඹ තිබේ.
“මේ වන විට ඉදිරිපත් කර ඇති මානසික වෛද්‍ය වාර්තාවද අභියෝගයට ලක්ව ඇති බැවින්, මේ වනතෙක් 03 වන සැකකරු කෲර වධදීමකට ලක්ව ඇති බවට නිශ්චිතව අනාවරණය වී නොමැති බව පැහැදිලිව පෙනී යයි.”
ඒ අනුව, සත්‍ය වශයෙන්ම සැකකරු කෲර අමානුෂික වධහිංසාවකට ලක්ව ඇත්ද යන්න පිළිබඳව විද්‍යාත්මකව සහ අපක්ෂපාතීව නිගමනයක් කිරීම සඳහා, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් සහ විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත 05 දෙනෙකුගෙන් යුත් නව ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට අධිකරණය නියෝග කළේය.
අධිකරණයේ මෙම නියෝගය හරහා මනාව පැහැදිලි වන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ගොඩනගා ඇති වධහිංසා චෝදනා සහ ප්‍රචාරයන් පිටුපස ඇත්තේ වින්දිතයෙකුගේ අයිතිවාසිකම් සුරැකීමේ සැබෑ වුවමනාවකට වඩා, නීතියේ ක්‍රියාකාරීත්වයට බාධා කිරීමේ සහ විමර්ශන නිලධාරීන් අධෛර්යමත් කිරීමේ සංවිධානාත්මක දේශපාලනික සහ පටු න්‍යාය පත්‍රයක් බවයි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හැසිරවිය හැක්කේ සමාජ මාධ්‍ය කටකතා මගින් නොව, අධිකරණය හමුවේ තහවුරු වන විද්‍යාත්මක සහ නීතිමය සාක්ෂි මගින් පමණක් බව මෙම නඩු විභාගය යළිත් වරක් තහවුරු කර ඇත.
පත් කළ වෛද්‍ය මණ්ඩලය
නව වෛද්‍ය මණ්ඩලය පත් කිරීමේදී සම්පූර්ණ අපක්ෂපාතීත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා අධිකරණය විසින් විශේෂ නිර්ණායක කිහිපයක් මත පදනම්ව මෙම පත් කිරීම් සිදු කර තිබේ.
මෙම වෛද්‍ය මණ්ඩලය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා පත් කරන ලෙස පැමිණිල්ල ඉල්ලා සිටියද, සුරේෂ් සලේගේ පාර්ශ්වය ඊට විරුද්ධ වී ඇත. ඒ අනුව, යුක්තිය ඉටුවීම පිණිස අධිකරණය විසින්ම එම මණ්ඩලය පත් කිරීම සුදුසු බව මහෙස්ත්‍රාත්වරයා තීරණය කර තිබේ.
ෙදැනට ශ්‍රී ලංකාව තුළ සේවයේ යෙදී සිටින විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරුන් තිදෙනාගෙන් කෙනෙකු වන වෛද්‍ය සී. ටී. කේ. ප්‍රනාන්දු මහතා මීට පෙර මතභේදයට තුඩුදුන් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇති බැවින්, ඔහුව මෙම නව මණ්ඩලයට ඇතුළත් කර නොමැත. සැකකරුව මීට පෙර මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී පරීක්ෂාවට ලක් කර ඇති බැවින් සහ එම රෝහලේ වෛද්‍යවරුන් කලින් පරීක්ෂාවට සහභාගී වී ඇති බැවින්, එම විද්‍යායතනයේ කිසිදු වෛද්‍යවරයෙකු මෙම මණ්ඩලයට පත් නොකිරීමට තීරණය කර ඇත.
සැකකරු මීට පෙර මුල්ලේරියාව රෝහලේ සහ කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂ වේද ආයතනය තුළදී පරීක්ෂාවට ලක්ව ඇති බැවින්, මෙම නව පරීක්ෂාව සාධාරණව සහ අපක්ෂපාතීව පැවැත්වීම සඳහා එය කළුබෝවිල පිහිටි කොළඹ දකුණ ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙම මණ්ඩලය විශේෂඥ මානසික වෛද්‍යවරුන් තිදෙනෙකු සහ විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් (මුළු සාමාජිකයින් 5 දෙනෙකුගෙන්) සමන්විත වන පරිදි ව්‍යූහගත කර ඇත.
දැනට ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු අනෙකුත් විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ගෙන් සමන්විතව පත් කර ඇත.
වෛද්‍ය සුසිත මෙන්ඩිස් මණ්ඩලයේ ප්‍රධානියා වේ. ඔහු කරාපිටිය ජාතික රෝහලෙහි විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරයෙකි. වෛද්‍ය චිත්තහාරි අබේනායක මහනුවර ජාතික රෝහලෙහි විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරියකි. සීටීකේ ප්‍රනාන්දු හැර, ලංකාවේ විශේෂඥ අධිකරණ මානසික වෛද්‍යවරුන් ලෙස සේවය කරන අනෙක් දෙදෙනා ඔවුන් පමණි.
වෛද්‍ය දසන්ති අක්මීමන කොළඹ දකුණ ශික්ෂණ රෝහලෙහි විශේෂඥ මානසික වෛද්‍ය සහ ශ්‍රී ලංකා මනෝ විද්‍යාඥයින්ගේ විද්‍යායතනයෙහි සභාපතිනිය වන නිසා පත් කර තිබේ.
මහාචාර්ය දුල්ශිකා අමරසිංහ වාස් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය පීඨයෙහි විශේෂඥ මානසික වෛද්‍ය මහාචාර්යවරිය ලෙස පත් කර තිබේ.
වෛද්‍ය වජිර ධර්ම වර්ධන සබරගමුව විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ විශේෂඥ මානසික වෛද්‍යවරයා ලෙස පත් කර තිබේ.
ඉහත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලය විසින් කොළඹ දකුණ ශික්ෂණ රෝහලේදී සැකකරු පරීක්ෂා කර බලා ඉදිරි නඩු දිනය වන විට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
