ලංකාවේ කුඩා දරුවන් සහ ගැබිණියන්ටත් වහාම බ්‍රිතාන්‍යයෙන් පිටවෙන්න කියලා! එරට අලුත් වීසා නීති නිසා පවුල් අර්බුදයක!

(ගාඩියන් වෙබ් අඩවියේ පළ වූ ලිපියක පරිවර්තනයකි. මෙහි එන ඡායාරූපය එම ලිපිය සමග පළ වූ ඡායාරූපයකි.)

එක්සත් රාජධානිය තුළ නීත්‍යානුකූලව ජීවත් වන වයස අවුරුදු පහක් තරම් කුඩා දරුවන්ට, රටින් පිටවිය යුතු බවට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය (Home Office) විසින් දැනුම් දෙමින් සිටියි. තම දෙමාපියන්ට එහි රැඳී සිටීමට අවසර ලබා දී තිබුණද කුඩා දරුවන්ව පිට කිරීමට මෙසේ නියෝග කර ඇත.

ස්වදේශ කටයුතු කාර්යාලය විසින් දරුවන්ට එක්සත් රාජධානියෙන් පිටවිය යුතු බවට දන්වමින් යවන ලද ලිපි පහක් ‘ද ගාඩියන්’ (The Guardian) පුවත්පත නිරීක්ෂණය කර ඇත.

ගාඩියන් නිරීක්ෂණය කළ හයවන ලිපිය යවා ඇත්තේ එක්සත් රාජධානියේ තම සැමියා සමඟ ජීවත් වන මාස හයක ගැබිනියකටය. ඉන් පවසා ඇත්තේ ඇය තම සැමියා හැරදා නැවත තම මව් රටට යා යුතු බවයි. මෙම දරුවන්ගේ දෙමාපියන් සාත්තු සේවා වීසා මත රැදී සිටින අතර, 2024 මාර්තු මාසය දක්වා අදාළ වීසා මඟින් ඔවුන්ට තම සහකරු හෝ සහකාරිය හෝ දරුවන් එක්සත් රාජධානියට ගෙන ඒමට අවසර ලබා දී තිබුණි.

“පවුලට මේ ලිපි ලැබීම ගැන අපි සම්පූර්ණයෙන්ම කම්පනයට පත් වුණා,” ස්කොට්ලන්තයේ පර්ත් හි කර්මාන්තශාලාවක සේවය කරන සිය සැමියා සමඟ වෙසෙන සාත්තු සේවිකාවක වන වරුණි ආරච්චිගේ පැවසුවාය.

ඔවුන්ගේ අට සහ පහ යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා පාසලේ හොඳින් ඉගෙනුම ලබමින් සිටින අතර ඔවුන්ගේ ප්‍රජාව තුළ මැනවින් ස්ථාවර වී සිටිති.

ආරච්චිගේ මහත්මිය සිය මව් රට වන ශ්‍රී ලංකාවෙන් රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් සහ විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකමක් ද, ඩන්ඩී විශ්වවිද්‍යාලයෙන් තිරසාරත්වය සහ ජල සුරක්ෂිතතාව පිළිබඳ විද්‍යාපති උපාධියක් ද ලබා ඇත.

ඇයගේ සැමියා භෞතික විද්‍යාව සහ ද්විත්ව ගණිතය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු සහ ඔවුන්ගේ දරුවන් ඇයගේ සාත්තු සේවා වීසා බලපත්‍රය මත යැපෙන්නන් ලෙස සිටියි. ඔවුන්ගේ වීසා අයදුම්පත් සඳහා පවුල විසින් ස්වදේශ කටයුතු කාර්යාලයට පවුම් දහස් ගණනක් ගෙවා ඇති අතර, ඔවුන් බදු ගෙවනවා මිස කිසිදු රජයේ දීමනාවක් ලබා ගන්නේ නැත.

සාත්තු සේවා අයදුම්කරුවන් 100,000 කට අමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 120,000 ක් පමණ එක්සත් රාජධානියේ සිටින බවට 2023 දී ස්වදේශ කටයුතු කාර්යාලය විසින් ඇස්තමේන්තු කිරීමෙන් පසු, රජය සාත්තු සේවකයින් සඳහා වන පවුල් වීසා සීමා කිරීමට පටන් ගත්තේය. 2024 මාර්තු මාසයේ සිට, සාත්තු සේවකයින්ට තම සහකරුවන් හෝ දරුවන් එක්සත් රාජධානියට ගෙන ඒමට තවදුරටත් අවසර ලබා නොදුන් අතර, 2025 ජූලි මාසයේ සිට විදේශීය සාත්තු සේවකයින් බඳවා ගැනීම ද තහනම් කරන ලදී.

කෙසේ වෙතත්, මෑත සතිවලදී පිටව යන ලෙස ලිපි යවන ලද දරුවන් එක්සත් රාජධානියට පැමිණියේ මෙම විවිධ තහනම් සහ සීමාවන් බලාත්මක වීමට පෙරය.

“2022 නත්තල් දින අපි මෙහි පැමිණි දා සිට අපි එක්සත් රාජධානියේ නීත්‍යානුකූලව ජීවත් වෙනවා,” ආරච්චිගේ පැවසුවාය. “මගේ වීසා බලපත්‍රය 2031 දක්වා ස්වදේශ කටයුතු කාර්යාලය විසින් දීර්ඝ කර තියෙනවා. නමුත් මගේ යැපෙන්නන් වන මගේ සැමියාට සහ දරුවන්ට රටින් පිටවන ලෙස දැනුම් දීලා තියෙනවා.”

පසුගිය සති කිහිපය තුළ මෙවැනි සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව නීතිඥයෝ පැවසූහ.

සංක්‍රමණික සාත්තු සේවකයින් පිළිබඳ මෑත කාලීන සමීක්ෂණ දෙකකින් හෙළි වූයේ, ඔවුන්ට එක්සත් රාජධානියේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ගතවන කාලය – වසර පහේ සිට වසර 15ක මූලික කාලයක් දක්වා – දීර්ඝ කිරීමේ නව යෝජනා නිසා මෙම සේවක කණ්ඩායමේ මහා පරිමාණ පිටව යාමක් සිදුවිය හැකි බවයි.

සංක්‍රමණිකයින්ට සහය සහ නීති උපදෙස් සපයන ‘Tulia Group CIC’ විසින් සංක්‍රමණික සාත්තු සේවකයින් 269 දෙනෙකු සමීක්ෂණයට ලක් කරන ලද අතර, ඔවුන් සියලු දෙනාම පැවසුවේ ස්ථිර පදිංචිය සඳහා වන කාලය වසර පහක් ලෙසම පැවතිය යුතු බවයි. දිගු කාලීන පදිංචිවීමේ නීති යටතේ වුවද මෙහි රැඳී සිටින බව පැවසුවේ ඉන් 36% ක් පමණි. සෞඛ්‍ය සහ සමාජ සත්කාර වේදිකාවක් වන ‘Lifted’ විසින් සංක්‍රමණික සාත්තු සේවකයින් 1,162 ක් යොදාගෙන සිදුකළ වෙනත් සමීක්ෂණයකදී, 69% ක් පැවසුවේ වසර 15 ක නීතිය ක්‍රියාත්මක වුවහොත් එක්සත් රාජධානියෙන් පිටවීම පිළිබඳව සලකා බලන බවයි. අනුග්‍රහය ලබන සංක්‍රමණික සාත්තු සේවකයින්ගෙන් සමන්විත වත්මන් ශ්‍රම බලකාය පුද්ගලයින් 280,000 කට ආසන්න පිරිසකට සතියකට පැය මිලියන 4.2 ක සත්කාරයක් සපයන අතර, නව නීති මගින් ඔවුන්ගේ පිටව යාමක් සිදුවුවහොත් ඉන් විශාල සේවාවක් අහිමි විය හැකිය.

2022 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් රාජධානියට පැමිණ නෝර්තුම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් (Northumbria University) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් සාත්තු සේවකයෙකු වන රසික සමරසිංහ මහතාගේ වීසා බලපත්‍රය මත සිටින ඔහුගේ යැපෙන්නන්ට – එනම් ඉගැන්වීමේ සහායිකාවක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳට සහ අවුරුදු 12, 9 සහ 8 යන වයස්වල පසුවන ඔවුන්ගේ කුඩා දරුවන් තිදෙනාට – එක්සත් රාජධානියේ රැඳී සිටීමට අවසර ලබා දීම ස්වදේශ කටයුතු කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සමරසිංහ සිය බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ එළිමහනේ ලී බංකුවක පේළියට වාඩි වී සිටින ඡායාරූපයකි. ඡායාරූපය: සමරසිංහ පවුලේ අනුග්‍රහයෙනි.

“මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ,” ඔහු පැවසීය. “අපි මේ රටේ හැම දෙයක්ම නීත්‍යානුකූලව කරලා තියෙනවා වගේම ස්වදේශ කටයුතු කාර්යාලය ඉල්ලපු හැම බද්දක්ම ගෙවලා තියෙනවා. මම වීසා කාලය ඉක්මවා නීති විරෝධීව රැඳී සිටින කෙනෙක් නෙවෙයි, මට ඕනෙ මගේ දරුවන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න විතරයි. මගේ අවධානය තියෙන්නේ මගේ පවුල ගැන. පවුල නැතුව මට මුකුත් කරන්න බැහැ. මගේ බිරිඳයි මමයි දෙන්නම මෙහේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. අපිට වෙලා තියෙන දේ ගැන අපි ගොඩක් ව්‍යාකූල වෙලයි ඉන්නේ. අපි තාම මේ ගැන දරුවන්ට කියලා නැහැ. මගේ දරුවෝ හැමෝම මෙහේ පරිසරයට හුරුවෙලා පාසලේ වැඩ හොඳින් කරගෙන යනවා. මගේ බාලම දරුවාට කතා කරන්න සහ ලියන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි.”

‘MTC Solicitors’ ආයතනයේ නාග කන්දයියා මහතා මෙසේ පැවසීය: “එක්සත් රාජධානියේ සිටින සංක්‍රමණික සාත්තු සේවකයින්ට කළ නොහැකි තේරීමකට මුහුණ දීමට සිදුවී තිබෙනවා: අත්‍යවශ්‍ය සේවාවන් දිගටම කරගෙන යාමට නොහැකි වීම හෝ තම දරුවන්ගෙන් හෝ සහකරුවන්ගෙන් වෙන්වීමේ අවදානමට මුහුණ දීම. එහි ප්‍රතිඵලය වෙලා තියෙන්නේ සමාජ සත්කාරක පද්ධතියේ වැදගත් රැකියා සහ පවුලෙන් දිගු කාලයක් වෙන්වී සිටීම අතර අසාධාරණ තේරීමක් කිරීමට සිදුවීමයි. මෙම සේවකයින් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ව රැකබලා ගන්නවා, නමුත් මේ නීති නිසා ඔවුන්ට ඔවුන්ගේම පවුල් රැකබලා ගැනීම වළක්වන්න පුළුවන්.”

දරුවන්ට “ගෙදර යන්න” යැයි කරන ලද දැනුම්දීම ‘Migrants’ Rights Network’ හි ප්‍රධාන විධායක නිලධාරිනී ෆිසා කුරේෂි තරයේ හෙළා දුටුවාය.

“සංක්‍රමණිකයින් කෙරෙහි මෙම රජය දක්වන පිළිකුලේ බර දිගින් දිගටම දරන්නේ සංක්‍රමණික සාත්තු සේවකයින්. කිසිවෙකුට තම ජීවනෝපාය අත්හැරීමට හෝ පවුලෙන් වෙන්වීමට බල නොකළ යුතුයි. රජය ඇත්තටම මීට වඩා දයානුකම්පිත විය යුතුයි, ඒ වගේම අපේ සෞඛ්‍ය සහ සත්කාරක පද්ධතිවල පදනම වන සංක්‍රමණික සේවකයින්ට මීට වඩා ගෞරවයෙන් සැලකිය යුතුයි.”

ස්වදේශ කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ:

“මෙම රටට දායක වන සහ මෙහි වඩා යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට කැමති අය අපි සැමවිටම සාදරයෙන් පිළිගන්නවා. නමුත් අපි අපේ දේශසීමා වෙත විධිමත්භාවය සහ පාලනය යථා තත්ත්වයට පත් කළ යුතුයි. පෙර පැවති රජය යටතේ පෙර නොවූ විරූ මට්ටමේ සංක්‍රමණ හේතුවෙන් ඇති වූ අභියෝගවලට ආමන්ත්‍රණය කරමින්, පරම්පරාවක සිදු කෙරෙන විශාලතම නීත්‍යානුකූල සංක්‍රමණ ප්‍රතිසංස්කරණ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. එක්සත් රාජධානියේ පදිංචි වීම වරප්‍රසාදයක් මිස අයිතියක් නොවේ, එය උපයා ගත යුතුයි, එය ලැබෙන්නේ නීතිරීතිවලට අනුව කටයුතු කරන සහ රටට දායකත්වයක් ලබා දෙන අයටයි.”

Author

1 Comment

  • මේ article එකේ අපැහැදිලි තැන් කිහිපයක් තියෙනවා. මේ අය care visa පලමු වරට apply කලේ මොන කාලෙදිද කියන එක.

    මොකද එංගලන්තයේ රජය 2024 මාර්තු 11 වැනිදා care worker visa නීති වෙනස් කලා. ඒ අනුව ඊට කලින් care worker visa එක යටතේ හිටපු අයගේ පවුල් වලට dependent visa දිගටම දෙන්නත්, 2024, මාර්තු 11ට පස්සේ care worker visa apply කරන අයගේ පවුල් වලට dependent visa නැති කරන්නත්.

    ඉතින් මෙතන පැහැදිලි නැති දේ තමයි මේ පවුල් වල main applicant පලමු වරට care worker visa apply කරලා තියෙන්නේ කවදද කියන එක.

Comments are closed.

Related Posts