පාපන්දු ලෝක කුසලානයේ සම සත්කාරක රටක් වන කැනඩාව මුහුණදෙන පළවැනි තරගය ටොරොන්ටෝ නුවරදී බොස්නියා සහ හර්සගොවිනාව) එරෙහිව ආරම්භ වුණා.
මේක කැනඩාවට ඉතා වැදගත් තරගයක් වුණත්, කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයා වන ඇල්ෆොන්සෝ ඩේවිස් මේ තරගයේ මුල් ක්‍රීඩකයින් 11 දෙනා අතරට එක්වන්නේ නැති බව ඔබ දැනටමත් දකින්නට ඇති. ඩේවිස් අංක 19 ජර්සිය සමග ක්‍රීඩාංගණයට පැමිණියත්, ඔහු පළමු 11 දෙනා අතර නැහැ.
වයස අවුරුදු 25ක් වන ඔහු කැනඩා කණ්ඩායමේ වම්පෙළ ආරක්ෂකයා (left-back) ලෙස ක්‍රීඩා කරනවා. පසුගිය මැයි 6 වැනිදා පැවති චැම්පියන්ස් ලීග් තරගයකදී ඔහුගේ පාදයේ මස්පිඬුවල ආබාධයක් ඇති වුණා. එදා ඉඳන් ඔහු උත්සාහ කළේ ලෝක කුසලානය වෙනුවෙන් ඉක්මනින්ම සුවය ලබාගන්නයි.
දැන් ඔහුගේ ආබාධය ටිකෙන් ටික සුව වෙමින් පවතින නමුත් ඔහු අවදානමක් ගැනීමට සූදානම් නැහැ. ඔහුත්, ප්‍රධාන පුහුණුකරු ජෙසී මාර්ෂ් සහ වෛද්‍ය කණ්ඩායමත් තීරණය කළේ ඔහුව පිටියට ගෙන ඒම ඉක්මන් නොකළ යුතු බවයි. එහෙම කළොත් ආබාධය නැවත මතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු පළමු තරගයට ක්‍රීඩා නොකළත්, අතිරේක ක්‍රීඩකයෙකු (substitute) විදිහට කණ්ඩායම සමඟ රැඳී සිටිනවා.
මේ ගැන ඩේවිස් කියා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සුවය ලබාගන්න අවශ්‍ය නම්, පළමු තරගයට ක්‍රීඩා නොකර ඉන්න තමන් දෙපාරක් හිතන්නේ නැහැ කියලයි.
“පළමු තරගය හරිම වැදගත් බව අපි දන්නවා. ඒත් සම්පූර්ණයෙන්ම සුවය ලබන එක ඊට වඩා වැදගත්. කලබල වෙන්න වුවමනාවක් නැහැ, හොඳින් සුවය ලබන එකයි දැන් කළ යුත්තේ” කියලා ඔහු පසුගිය සතියේ ප්‍රකාශ කළා.
කැනඩාව තමන්ගේ රටේදී ලෝක කුසලානයක් ආරම්භ කරන නිසාත්, තරගාවලියේ ඉදිරියට යන්න මේ තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය නිසාත් මේක ඔවුන්ට ඓතිහාසික තරගයක්. ඒත් ඩේවිස් තවමත් 100%ක් සුවය ලබා නැති නිසා, කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයා නැතිව මේ අභියෝගයට මුහුණ දෙන්න කැනඩාවට සිදු වී තිබෙනවා.
ඒ නිසා ප්‍රධාන පුහුණුකරු ජෙසී මාර්ෂ්ට ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයින් යොදාගන්න සිදුවුණා. මෑත කාලයේදී ඩේවිස් කැනඩා කණ්ඩායමේ වම්පෙළ ආරක්ෂකයෙකු විදිහට වගේම ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු විදිහටත් දක්ෂතා දක්වලා තියෙනවා.
මේ අඩුව පුරවන්න සිකුරාදා තරගයේදී කැනඩාවේ වම්පෙළ ආරක්ෂකයා විදිහට රිචී ලරියා (Richie Laryea) ක්‍රීඩා කරාවි. ඒ වගේම, වම් මැදපෙළ ක්‍රීඩකයාගේ වගකීම ලියම් මිලර්ට (Liam Millar) පවරන්න පුහුණුකරු තීරණය කරලා තියෙනවා.
