Breaking : ඥානසාර රිමාන්ඩ්

අත් අඩංගුවට පත් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා නියෝග කර තිබෙනවා.

අද (04) දිනයේ අධිකරණයට රැගෙන ආ ඥාණසාර හිමියන්ව මහේස්ත්‍රාත් නිල කාමරයට රැගෙන ගිය අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඥාණසාර හිමි අභියාචනාධිකරණයේ නොතීසිය මත අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තු ලබා සිටි අතර මීට අමතරව මහාධිකරණ අංක 9 සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 3 ඉදිරියේ පෙනී නොසිටීම මතද වරෙන්තු ලබා සිටියා.

උන්වහන්සේව හෙට (05) දිනයේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම 06 වැනිදා කොළඹ මහාධිකරණ අංක නවයට සහ 07 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තීනියාවල ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබුවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උන්වහන්සේට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කර තිබූ ජනාධිපති සමාව නීතිය ඉදිරියේ බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ උන්වහන්සේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක වීම මඟහරිමින් සැඟව සිටි උන්වහන්සේව පොලිසියට ලද විශේෂ තොරතුරක් මත මෙම ආරණ්‍ය සේනාසනයේදී සොයාගෙන අත්අඩංගුවට ගනු ලැබුවා.

ජනාධිපති පොදු සමාව බලරහිත කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කර තිබූ පසුබිමක පවා උන්වහන්සේ අධිකරණය හමුවට ඉදිරිපත් නොවූ අතර ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට මෝසමක් ගොනු කර තිබුණා.

එම මෝසම ඉකුත් 29 වැනිදා මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ද නොතීසි නිකුත් වී සිටි විත්තිකාර ඥානසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ, විත්තිකාර ඥානසාර හිමියන් පිත්තාශයේ සැත්කමකට ලක්කර ඇති බවත් මේ වන විට උන්වහන්සේ විවේක සුවයෙන් පසුවන බවයි.

කෙසේවෙතත් උන්වහන්සේගේ එම අසනීප තත්ත්වය තහවුරු කිරීම වෙනුවෙන් කිසිදු වෛද්‍ය වාර්තාවක් එදින අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට විත්තියේ නීතිඥවරුන් අපොහොසත් වුණා.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, විත්තිකාර හිමිනම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළා.

එමෙන්ම උන්වහන්සේගේ විදෙස් ගමන් ද තහනම් කළ අධිකරණය, අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් වහාම ක්‍රියාත්මක කර ඔක්තෝබර් පළමුවැනිදා වන විට අධිකරණය හමුවට පමුණුවන ලෙසට නියෝග කර තිබුණා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් හැසිරීමේ වරදට අභියාචනාධිකරණය මගින් 2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමියන්ට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් (වසර 6කින් ගෙවී යන පරිදි) නියම කර තිබුණා.

සිරදඬුවම නියම වී මාස කිහිපයකට පසු එනම් 2019 මැයි මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට විශේෂ ජනාධිපති සමාවක් ලබා දෙමින් නිදහස් කිරීමට පියවර ගනු ලැබුවා.

අදාළ ජනාධිපති සමාව නීත්‍යනුකූල නොවන බවට පෙන්වා දෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව මෙම සමාව ලබා දී ඇති බව තීන්දු කරමින් එය බලරහිත කළා.

ජනාධිපති සමාව බලරහිත වීමත් සමඟ අභියාචනාධිකරණය මගින් නියම කරන ලද මුල් සිරදඬුවම යළි නීත්‍යනුකූලව බලාත්මක වන බැවින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක වුණා.


Author

1 Comment

  • ගඳ වේසිගේ පුතෙක් “පූජ්‍ය” සහ “හිමි” වුනේ කොහොමද බන්?

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading