ඉන්දු – චීන බල තුලනය මැද ටිල්වින් සිල්වා ඉන්දියාවේ

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ විශේෂ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රමුඛ පස් පුද්ගල නියෝජිත පිරිස, සිය සංචාරයේ පළමු දිනය වූ (01) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වි තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී දෙපාර්ශ්වය අතර පැවති හමුව ද මෙහිදී සඳහන් කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම දේශපාලන සබඳතා වඩාත් ඵලදායී හා ශක්තිමත් අයුරින් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම තාක්ෂණික දියුණුව රටක ආර්ථික හා සමාජීය සංවර්ධනයට ධනාත්මකව යොදාගත හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු වූ අතර දේශපාලන පක්ෂ ලෙස පොදු ජනතාව සහ තරුණ ප්‍රජාව සමඟ අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළා.

ජනතාව මුහුණ දෙන ගැටලු ක්ෂණිකව හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා දෙරටේ දේශපාලන පක්ෂ අතර අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව සමඟ සමීපව කටයුතු කරමින් බිම් මට්ටමේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳව ද නියෝජිත පිරිස සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

මෙම සංචාරය සංවිධානය කර ඇත්තේ ඉන්දීය පාලක පක්ෂයේ සංවිධානාත්මක ව්‍යුහය, මතවාදය සහ පාලන ආකෘතිය පිළිබඳව විදේශීය දේශපාලන නායකයන් දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘Know BJP’ වැඩසටහන යටතේයි.

ඒ අනුව භාරතීය ජනතා පක්ෂයේ බිම් මට්ටමේ සාමාජික ජාලය, මහජන සන්නිවේදන රටාව සහ සංවර්ධන වැඩසටහන් මෙහෙයවන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා ජවිපෙ නියෝජිත පිරිස BJP ජාතික ප්‍රධාන ලේකම් බී.එල්. සන්තෝෂ් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයන් මෙන්ම නවදිල්ලි නගරාධිපතිනි රේඛා ගුප්තා ද හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙය ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ වසර තුළ ඉන්දියාවේ සංචාරය කළ දෙවන අවස්ථාව වන අතර මීට පෙර ඉන්දීය සංස්කෘතික සබඳතා කවුන්සිලයේ (ICCR) ආරාධනයෙන් පෙබරවාරි මාසයේදී ද ඔහු නවදිල්ලියට පැමිණ තිබුණා.

එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කරගනිමින් පසුගිය ජූනි මාසයේදී ද ටිල්වින් සිල්වා මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් චීනයේ නිල සංචාරයක නිරත වුණා.

කලාපීය භූ දේශපාලනික බල අරගලය හමුවේ ඉන්දියාව සහ චීනය යන ප්‍රබල රාජ්‍යයන් දෙකෙහිම බලපෑම් සමතුලිතව කළමනාකරණය කරගනිමින්, ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවාද සහිත පක්ෂ සමඟ එකවර සහයෝගයෙන් කටයුතු කිරීමට ජවිපෙ දරන නව ප්‍රවේශය මෙම සංචාරය හරහා මැනවින් ප්‍රදර්ශනය වනු ඇති.

ඔහුගේ මෙම මෑත කාලීන ඉන්දීය සංචාරයේදී ප්‍රදර්ශනය වූ භාරතීය ජනතා පක්ෂයේ මතවාදය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මතවාදය ජවිපෙ විසින් ඉදිරියේදී කෙසේ සමතුලිත කරනු ඇත්දැයි බලා සිටීම කුතුහලය දනවන්නක් වනු ඇති.

මෙය ජවිපෙ කෙසේ හෝ දෙපැත්තෙන්ම දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික වාසි ලබාගැනීමට දරන උත්සාහයක් සේ පෙනෙන්නට තිබුණද රටේ දිගුකාලීන මිතුරන් වන බලවත් ජාතීන් දෙකක් මෙන්ම, ජවිපෙට අලුතින් හමුවූ මිතුරෙකු වන ඉන්දියාවද එකවර සමතුලිත කර ගැනීමට මීට වඩා හොඳ වෙනත් ක්‍රමයක් තිබේද යනුවෙන් අවධානයට ලක්වන කරුණක් වනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading