අනෝජන් බේරාගන්න නීතිඥ කණ්ඩායමක් සෞදියට! ජනපතිගෙන්ද සමාවේ අභියාචනයක්

සමාජ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණ අනෝජන් සිවරාසා බේරාගැනීම සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සම්පාදනය කිරීමට ජනාධිපති නීතිඥ, අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල විශේෂ නීතිඥ කණ්ඩායමක් ලබන අඟහරුවාදා සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔහු වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ සමාව අයැදීමේ අභියාචනයක් රැගෙන පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ද එරටට යාමට සූදානම් වනු ඇති.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට අමතරව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන් මෙම විශේෂ නියෝජිත කණ්ඩායමට ඇතුළත් වනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටීමට මේ වන විටත් සෞදි අරාබියේ ප්‍රමුඛ නීති සමාගම් දෙකක සහාය ලබාගෙන ඇති අතර එම නීති ආයතනවල නියෝජිතයන් මෙන්ම සෞදි නීතිඥ සංගම්දෙකක නියෝජිතයන් හමුවී ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අදාළ ලිපි ලේඛන කටයුතු අවසන් කිරීමට නියෝජිත පිරිස සැලසුම් කර තිබෙනවා.

අනෝජන්ගේ ජීවිතය ගලවා ගැනීමට සහ දඬුවම ලිහිල් කරවා ගැනීමට ගත හැකි හොඳම නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳව එරට ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව අසාද් නවාවි මහතා සඳහන් කළා.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනා කටයුතු සම්පාදනය වන අතරවාරයේ රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද සෞදි රජයේ අදාළ ආයතන සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටිනවා.

අනෝජන් සිවරාසා මුදාගැනීම සඳහා රජයේ කඩිනම් මැදිහත්වීම ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත විශේෂ සංදේශයක් භාර දෙනු ලැබුවා.

කල්මුණේ, නට්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනෝජන් සිවරාසා රැකියාවක් සඳහා මීට මාස 9කට පෙර සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ප්‍රකාශයක් මඟින් දේව අපහාසයක් සිදු කළ බවට එල්ල වූ චෝදනාව මත එරට අල්-අහ්සා අපරාධ අධිකරණය මඟින් ඔහුට මුලින් වසර 5ක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කරනු ලැබුවා.

එම තීන්දුව ලිහිල් කරගැනීම වෙනුවෙන් අනෝජන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන ලද අභියාචනය සලකා බැලූ අධිකරණය, මුල් ලිහිල් සිරදඬුවම වෙනුවට අනපේක්ෂිත ලෙස ඔහු වෙත මරණ දඬුවම නියම කිරීමට තීරණය කළා.

කෙසේවෙතත් අනෝජන් සිවරාසා බේරාගැනීම සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සම්පාදනය කිරීමට සිව් පුද්ගල විශේෂ නීතිඥ කණ්ඩායම ලබන අඟහරුවාදා සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading