සජබට දුන් ප්‍රජාතන්ත්‍රවාදය ජන අරගලයට නෑලු! සවුන්ඩ් ලොරි උස්සයි! හයක් කූඩුවේ දමයි! හෙට අයුතු ජනරාශියට උසාවි දානවලු!

ජනතාව මත පවතින බදු බර අඩු කිරීම, ජීවන වියදම පහත හෙළීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජන අරගල ව්‍යාපාරය අද (03) කොළඹදී සංවිධානය කළ විරෝධතා පාගමන අතරතුර එම ව්‍යාපාරයේ සාමාජිකයන් හයදෙනෙකු පිටකොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“ජඩ බදු හකුලාගනිව්! ජීවන බර පහත දමව්!” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමන බොරැල්ල කැම්බල් පිටිය අසලින් ආරම්භ වී මරදාන හරහා කොළඹ පිටකොටුව ප්‍රදේශයට පැමිණ තිබිණි.

අධික බදු බර සහ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කිරීම මෙම විරෝධතාවේ ප්‍රධාන අරමුණක් වූ අතර, අත්‍යවශ්‍ය සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා මත පනවා ඇති බදු ඉවත් කිරීම, හාල්, පරිප්පු, පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත හෙළීම, ණය බරින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීම සහ පොදු ප්‍රවාහනය, සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමද විරෝධතාකරුවන් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර වේ. පවතින ජීවන වියදම සැලකිල්ලට ගනිමින් පවුලකට ලබාදෙන අවම සහන දීමනාව රුපියල් 15,000 දක්වා වැඩි කළ යුතු බවද ඔවුන්ගේ ඉල්ලීම් අතර සඳහන් විය.

ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ විරෝධතාව අතරතුර ප්‍රකාශ කළේ ආහාර මත පනවා ඇති බදු සහ කාන්තා සනීපාරක්ෂක තුවා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මත පවතින බදු ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ නංවන බවයි. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර මිලදී ගැනීමේ හැකියාව පහත වැටීම සහ ළමා මන්දපෝෂණය පිළිබඳවද සංවිධායකයන් විරෝධතාවේදී අවධානය යොමු කර තිබිණි.

විරෝධතාව පිටකොටුව ප්‍රදේශයට පැමිණීමෙන් පසු සුජිත් කුරුවිට, ආරියසේන, ලලිත් පෙරේරා, රසික හෙයියන්තුඩුව, රාමර් සහ කසුන් යන ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් හයදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට පිටකොටුව පොලිසිය භාරයේ පසුවන අතර, ඔවුන්ට අයුතු ජනරාශියකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර හෙට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

එමෙන්ම විරෝධතාව සඳහා භාවිත කළ ශබ්ද විකාශන පද්ධතිය සහ එය රැගෙන ගිය ලොරි රථය ඇතුළු භාණ්ඩද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading